අපේ මුහුදේ සබ්මැරීන ප්‍රහාර – ජාතික ආරක්ෂාව ගැන සජිත්ගෙන් බරපතල ප්‍රශ්නාවලියක්

ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළට විදේශීය සබ්මැරීනයක් ඇතුළු වී ඉරාන නෞකාවකට ප්‍රහාර එල්ල කරන තෙක් රජය ඒ පිළිබඳව දැනුවත් නොවීම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින බරපතල ගැටලුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. හදිසි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින සහ ජාතික ආරක්ෂාව උපරිම මට්ටමක පවතින බව පවසන මොහොතක, නාවික සැතපුම් 40ක් වැනි සමීප දුරකට සබ්මැරීනයක් පැමිණ මෙවැනි විනාශයක් සිදු කරන තෙක් හඳුනා ගැනීමට රේඩාර් තාක්ෂණය හෝ චන්ද්‍රිකා නිරීක්ෂණ පද්ධති ක්‍රියාත්මක නොවූයේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය. මෙම ප්‍රහාරයෙන් ඉරාන නාවිකයින් සියයකට අධික පිරිසක් මියගොස් ඇති පසුබිමක, සිදුවීම පිළිබඳව නිසි තොරතුරු රජය සතු නොවීම මගින් මෙරට ආරක්ෂක පද්ධතියේ දුර්වලතාවය මැනවින් පැහැදිලි වන බව ද ඔහු පෙන්වා දුන්නේය.​මෙම යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආර්ථික බලපෑම් පිළිබඳව ද විපක්ෂ නායකවරයා මෙහිදී රජයට අනතුරු ඇඟවීය. විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන, ගෑස්, ඖෂධ සහ ආහාර මිල ගණන් ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බැවින්, හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා එල්ල වීමට පෙර ඉන්දියාව සහ රුසියාව වැනි රටවලින් කඩිනමින් ඉන්ධන ලබාගැනීමේ විකල්ප මාර්ග ගවේෂණය කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම ප්‍රහාරයට ලක්ව ගිලී ගිය ඉරාන නෞකාව හේතුවෙන් ‘එක්ස්ප්‍රස් පර්ල්’ හෝ ‘නිව් ඩයමන්ඩ්’ වැනි දරුණු සාගර දූෂණයක් ඇති වීමට ඉඩ නොතබා ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ඔහු අවධාරණය කළේය.​මීට අමතරව, මෙරට ආර්ථිකයට ප්‍රධාන ශක්තියක් වන මැදපෙරදිග සේවය කරන ලක්ෂ දහයකට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය ගත යුතු පියවර පිළිබඳව ද සජිත් ප්‍රේමදාස මහතා කරුණු විමසීය. මෙම ප්‍රහාරය මගින් ජාත්‍යන්තර මුහුදු නීති උල්ලංඝනය වී ඇත්ද යන්න සහ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව සුරක්ෂිත කිරීම සඳහා ගෙන ඇති රාජ්‍ය තාන්ත්‍රික පියවර මොනවාදැයි රජය වහාම රටට හෙළි කළ යුතු බව පවසමින් විපක්ෂ නායකවරයා සිය අදහස් දැක්වීම අවසන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,037

Leave A Reply

Your email address will not be published. Required fields are marked *