අපේ රටේ වටිනම සම්පත මානව සම්පතයි – අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් බලාපොරොත්තු වෙන්නේ මානව සම්පත ඵලදායී ලෙස යොදා ගැනීමයි

අපේ රටේ වටිනම සම්පත මානව සම්පත බවත්,  අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් මානව සම්පත ඵලදායී ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 

කුරුණෑගල පොල්ගොල්ල දේවපාල විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී  පැවති එම විද්‍යාලයේ 30වන සංවත්සර සැමරුම් උත්සවය අමතමින්   අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

“අපේ රට අධ්‍යාපනයට ඉහළ තැනක් දුන්නා. ඒ නිසා තමයි අපි දුප්පත් වුණත් මානව සංවර්ධනය අතින් ඉහළින් ඉන්න හැකියාව ලැබිලා තියෙන්නේ.  මානව සම්පත දියුණු කරන්න අධ්‍යාපනය දියුණු විය යුතුයි.

අපේ රටේ හොඳ පාසල් නරක පාසල් කියල තියෙන්න බෑ. ප්‍රසිද්ධ පාසල් අප්‍රසිද්ධ පාසල් කියලා තියෙන්න බෑ. අපේ රටේ සියලුම දරුවන්ට හොඳ පාසලක් උරුම කරදීම අපේ සියලු දෙනාගේ වගකීමක්. 

සාමූහිකත්වය, අන්‍යයන් කෙරෙහි පවතින කරුණාව වැනි ගුණධර්මවලින් පිරිපුන් සමාජයක් බිහිකිරීමට නම් අපේ අධ්‍යාපනය තවදුරටත් ප්‍රතිසංස්කරණය විය යුතුයි. ජනාධිපතිතුමා නිතරම කියන දෙයක් තමා අපිට පස්සේ මේක බාරගන්න අපිට වඩා දක්ෂ පිරිසක් ඉන්න ඕනේ කියලා.  මේ පරම්පරාවේ අපි හරියට වගකීම ඉෂ්ට කරනවා. මේ රට යම් තත්ත්වයකට ගේන්න උත්සාහ කරනවා වගේම ඊළඟ පියවර ගන්න අපිට වඩා දක්ෂ පරම්පරාවක් හැදිලා තියෙන්නේ ඕන.

එවැනි පරම්පරාවක් බිහි කළහැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට රජය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 

මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය චන්දන අබේරත්න, කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශණ,  කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය යන මහත්වරුන්, සම්භාවනීය අමුත්තන්, ගුරුවරුන් හා පාසල් සිසුන් සහභාගී විය. 

What's your reaction?

Related Posts

1 of 712

Leave A Reply

Your email address will not be published. Required fields are marked *