සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ දෙපාර්තමේන්තු ප්‍රධානී මහාචාර්ය සුරංග නානායක්කාර මහතා විසින් රචිත “අභියෝගය” කෘතිය සහ එහි ඉංග්‍රීසි අනුවාදය පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවාකාරයෙන් එළිදැක්විණි. 2026 මාර්තු 28 වන දින පැවැති මෙම සුවිශේෂී අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වූවාය. නූතන ලෝකයේ සංකීර්ණ ගැටලු හමුවේ නොසැලී සිටීමට අවශ්‍ය ධෛර්යය සහ නවෝත්පාදනය පිළිබඳ විමර්ශනාත්මක දැක්මක් මෙම ග්‍රන්ථය හරහා පාඨකයාට සමීප කර තිබේ.මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, ශාස්ත්‍රීය අත්දැකීම් සහ ගෝලීය අවබෝධය කැටි වූ මෙම කෘතිය කාලෝචිත මෙහෙවරක් ඉටුකරන බවයි. විශේෂයෙන්ම අධ්‍යාපනය, පර්යේෂණ සහ සමාජීය පරිවර්තනයන් සඳහා අවශ්‍ය නව දෘෂ්ටිකෝණ රැසක් මෙහි අන්තර්ගත වන බව ඇය පෙන්වා දුන්නාය. අනාගත පරපුරට සහ තරුණ පර්යේෂකයන්ට විචාරාත්මකව සිතීමටත්, බාධක ජයගැනීමටත් අවශ්‍ය කරන උත්තේජනය මෙවැනි ශාස්ත්‍රීය නිර්මාණ හරහා හිමිවන බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.දැනුම බෙදාගැනීමේ උතුම් අරමුණ පෙරදැරිව, මෙම කෘතියේ පිටපත් 5,000ක් දිවයිනේ පාසල් සිසුන් සහ අධ්‍යාපන ආයතන වෙත නොමිලේ බෙදාහැරීමේ වැඩසටහනද එදිනම ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාව තුළ ප්‍රගතිශීලී අධ්‍යාපන රටාවක් ස්ථාපනය කිරීමට නම් නව්‍යකරණය සහ දැනුම නිවැරදිව ජනගත කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව මෙහිදී විශේෂයෙන්ම අවධානයට ලක් විය.අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරුන් ඇතුළු විද්වතුන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ පාසල් විදුහල්පතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. තරුණ පරපුරේ විමර්ශනාත්මක බුද්ධිය අවදි කරමින්, නවීන ලෝකයේ අභියෝග හඳුනා ගැනීමට මහාචාර්ය නානායක්කාර මහතා ගත් මෙම ප්‍රයත්නයට මෙහිදී සැමගේ ගෞරවය හිමිවිය.
























