අම්බලන්ගොඩ වෙඩි තැබීම: පලාගිය මෝටර් රථය සොයා ගනී

​අද (නොවැම්බර් 4) පෙරවරු 10.30ට පමණ අම්බලන්ගොඩ නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු ඉලක්ක කරගෙන මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් තිබේ. වෙඩි ප්‍රහාරයෙන් මුහුණට හා පපුවට වෙඩි ප්‍රහාර හතරක් වැදී බරපතළ තුවාල ලැබූ අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ව්‍යාපාරිකයා, බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ. වෙඩි තැබීමෙන් පසු බෙංවල එගොඩවෙල හරහා පලා ගිය සැකකරුවන්, කරන්දෙණිය එගොඩවෙල මංසන්ධියේදී දමා ගොස් තිබූ මෝටර් රථය, අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන ඇත. මියගිය පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජනබලවේගයෙන් අම්බලන්ගොඩ නගර සභාවට තරඟ වැදුණු අයෙකු බවත්, විදෙස්ගතව සිටින ‘කරන්දෙණිය සුද්දා’ නැමැති අපරාධකරුගේ මස්සිනා වන බවත් පොලිසිය පවසයි. එසේම, මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් කපු මහතා ප්‍රධානත්වය දරන මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කර ඇත. මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 824

Leave A Reply

Your email address will not be published. Required fields are marked *