අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 10ක් පුරා දින 110ක ඓතිහාසික සාම පාගමනක නිරත වූ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් මෙරටදී සංවිධානය කෙරෙන ‘Walk for Peace Program in Sri Lanka’ වැඩසටහන සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට රජය තීරණය කර තිබේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ ආචාර්ය පූජ්‍ය මේල්පිටියේ විමලකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.මෙම සාම චාරිකාව සඳහා අමෙරිකානු පාගමනට නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා 12 නමක් මේ මස 21 වනදා දිවයිනට වැඩම කිරීමට නියමිතය. අප්‍රේල් 22 සිට 28 දක්වා දින හතක් පුරා පැවැත්වෙන මෙම පාගමන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසින් ආරම්භ වීමට නියමිත අතර, අටමස්ථානාධිපති හිමියන්ගේ ආශිර්වාදයෙන් ලබාගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක් ද මෙම පාගමන සමඟ වැඩම කරවීම විශේෂත්වයකි.සැලසුම් කර ඇති පරිදි අප්‍රේල් 22 වනදා දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන පාගමන මාතලේ, මහනුවර, කෑගල්ල සහ කැලණිය හරහා ගමන් කරමින් අප්‍රේල් 28 වනදා කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ළඟා වනු ඇත. ගමන් මාර්ගය පුරා ප්‍රදේශවාසීන් වෙත සාමයේ පණිවිඩය බෙදා හැරීමට කටයුතු යොදා ඇති අතර, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය ද මෙහි සංවිධාන කටයුතු සඳහා සෘජුව දායකත්වය ලබා දෙයි.පාගමනේ නිමාව සනිටුහන් කරමින් වැඩම කරවන ලද පූජනීය බෝධි අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අමෙරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත නිල වශයෙන් භාර දීමට නියමිතව තිබේ. භික්ෂූන් වහන්සේලාගේ දානමය කටයුතු, සෞඛ්‍ය පහසුකම් සහ ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ මෙහිදී දීර්ඝ ලෙස උපදෙස් හුවමාරු කර ගැනුණි.මෙම අවස්ථාවට බුද්ධශාසන, මහජන ආරක්ෂක සහ සංස්කෘතික අමාත්‍යාංශවල ලේකම්වරුන් මෙන්ම පොලිස්පතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් සාමය සහ සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය වන මෙම වැඩසටහන මෙරට ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.





















