අඹුලුවාව කළමනාකරණය සහ මහජන මුදල් භාවිතය සම්බන්ධයෙන් මතුව ඇති බරපතල ගැටලු හේතුවෙන්, එම මධ්‍යස්ථානය පාලනය කරන භාරය රජයට පවරා ගැනීමට හැකිවන පරිදි පවතින නීති සංශෝධනය කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇත. බුද්ධශාසන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව මෙම නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳ මූලික සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇත. දැනට 2009 අංක 44 දරන ‘අඹුලුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර පනත’ යටතේ මෙය පාලනය වන අතර, එහිදී ප්‍රධාන භාරකරු විසින් පනවා ඇති කොන්දේසි රැසක් භාරය විසින් උල්ලංඝනය කර ඇති බව බලධාරීන් අනාවරණය කරගෙන තිබේ.අදාළ පනතට අනුව, භාරයේ නිර්මාතෘවරයා වන අභාවප්‍රාප්ත දි.මු. ජයරත්න මහතාගෙන් පසුව ඔහුගේ පුත්‍රයාටත්, ඉන් අනතුරුව පවුලේ ජ්‍යෙෂ්ඨ පිරිමි සාමාජිකයාටත් එහි තනතුරු හිමිවිය යුතු බව සඳහන් වුවද, එහි පරිපාලන තීරණ සහ ඉඩම් වෙන්කිරීම් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී ඇත. විශේෂයෙන්ම, මෙම මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 600 කට අධික මහජන මුදල් වැය කර ඇති බවත්, මීට පෙර සිදුකළ විගණන වාර්තාවල සොයාගැනීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් හෙළි වී තිබේ. කෙසේ වෙතත්, අඹුලුවාව ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් බැවින්, ගනු ලබන ඕනෑම නීතිමය පියවරකදී සංචාරක කර්මාන්තයට හානියක් නොවන පරිදි කටයුතු කරන බව රජය අවධාරණය කරයි.


























