අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර රජය මඟහැරලා: සර්වජන බලයෙන් දැඩි විවේචනයක්

මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවයට අදාළ නිල නැකත් සීට්ටුව සකස් කිරීම රජය විසින් පැහැර හැර ඇති බවට ‘සර්වජන බලය’ පක්ෂයේ ‘සර්වජන ලියබල සවිය’ සංවිධානය චෝදනා කරයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ, වසර ගණනාවක සිට පැවත එන නැකත් කමිටුව රැස්කර චාරිත්‍ර විධිමත් කිරීමේ ක්‍රියාවලිය වත්මන් පාලනය විසින් අත්හැර දමා ඇති බවයි. මෙය හුදෙක් පරිපාලනමය අතපසුවීමක් නොව, රටේ සංස්කෘතික අනන්‍යතාව හෑල්ලුවට ලක් කිරීමක් බව එම සංවිධානයේ නියෝජිතවරියන් අවධාරණය කළහ.​මෙහිදී අදහස් දැක්වූ සර්වජන බලය උප සභාපතිනි අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කළේ, රටේ ප්‍රධාන සංස්කෘතික මංගල්‍යය වෙනුවෙන් රජය සතු වගකීම ඉටු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලනය අපොහොසත් වී ඇති බවයි. සමස්ත ජාතියම එකම වෙලාවක ආහාර අනුභව කරමින් සහ වැඩ අල්ලමින් සාමූහිකත්වය පෙන්නුම් කරන මෙම උතුම් සංස්කෘතිය විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවත්, ආගම සහ ජාතිය වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් රජය සතුව තිබිය යුතු බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.​මාධ්‍ය හමුවට එක්වූ ගංගානි මහත්මිය ඇතුළු කාන්තා නියෝජිතවරියන් පෙන්වා දුන්නේ, “සුබ නැකතට රට අනුරට” යන තේමාවෙන් බලයට පැමිණි පාලනය දැන් නැකත් පිළිබඳ තැකීමක් නොකිරීම හාස්‍යයට කරුණක් බවයි. දරු පරම්පරාවට ආදර්ශවත් විය යුතු රාජ්‍ය නායකත්වය, රටේ මහා සංස්කෘතික උළෙල නොසලකා හැරීම මඟින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ සංස්කෘතික විරෝධී පිළිවෙත බව ඔවුහු පෙන්වා දුන්හ. අපගේ පොදු සංස්කෘතිය උදුරා ගැනීමට දරන උත්සාහයට එරෙහිව සියලු කාන්තාවන් පෙරමුණ ගත යුතු බවද මෙහිදී ප්‍රකාශ විය.​අවසාන වශයෙන්, චාරිත්‍ර වාරිත්‍ර මඟ හැරීම තුළින් රටේ අධ්‍යාත්මික සහ සංස්කෘතික පදනම බිඳ වැටෙන බවත්, නැකත් සීට්ටුවක් නොමැතිව ජනතාව අතරමං කිරීමට රජයට අයිතියක් නොමැති බවත් සර්වජන බලය සංවිධානය අවධාරණය කළේය. රටේ අනන්‍යතාව සුරැකීමට නම් මෙවැනි සම්ප්‍රදායන් අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව පවසමින් ඔවුහු සිය විරෝධය පළ කළහ.

What's your reaction?

Related Posts

1 of 1,046

Leave A Reply

Your email address will not be published. Required fields are marked *