අලුත් අවුරුදු සැමරුම් වෙනුවෙන් දිවයින පුරා දැඩි ආරක්ෂාවක්

එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් විශේෂ ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත. ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ සෘජු උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ සාමාජිකයින් දිවයින පුරා ආරක්ෂක රාජකාරි සඳහා යොදවා තිබේ.​උත්සව සමයේ පැවැත්වෙන ප්‍රසිද්ධ උත්සව, සංගීත සංදර්ශන සහ ආගමික වැඩසටහන් ඉලක්ක කර ගනිමින් මෙම ආරක්ෂක යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ. ඕනෑම හදිසි තත්ත්වයකට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සහ තොරතුරු හුවමාරුව කාර්යක්ෂම කිරීම සඳහා කොළඹ පොලිස් මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් මැදිරියක් ද මේ වන විට ස්ථාපිත කර ඇත.​ආරක්ෂක අංශ අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යන මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය 24 පැය පුරාම ක්‍රියාත්මක වේ. මහජනතාවට ආරක්ෂාව සම්බන්ධ ඕනෑම ගැටලුවක් පවතී නම් 011-2013051, 011-2027148, 011-2027149 හෝ 011-2430912 යන දුරකථන අංක ඔස්සේ හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය හරහා අදාළ මධ්‍යස්ථානය සෘජුව සම්බන්ධ කර ගැනීමට අවස්ථාව සලසා දී ඇත.​සාමකාමී සහ සුරක්ෂිත අලුත් අවුරුදු සමයක් ගත කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත උපරිම සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම ජනාකීර්ණ ස්ථානවල සැරිසරන විට වඩාත් විමසිලිමත් වන ලෙසත්, සැකකටයුතු යමක් නිරීක්ෂණය වුවහොත් වහාම ඉහත අංක වෙත දැනුම් දෙන ලෙසත් වැඩිදුරටත් මතක් කර සිටී.

What's your reaction?

Related Posts

1 of 1,090

Leave A Reply

Your email address will not be published. Required fields are marked *