අවශ්‍ය සෑම විටම ශ්‍රී ලංකාවට සහාය දීමට චීනය සූදානම්: තානාපතිගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම දුෂ්කර අවස්ථාවකදී ප්‍රමුඛව ඉදිරිපත් වී සහාය වීමට චීනය සැමවිටම කැපවී සිටින බව මෙරට චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා අවධාරණය කරයි. දෙරට අතර පවතින වසර දෙදහසකට අධික දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කරමින් ඔහු කියා සිටියේ, අතීතයේ මෙන්ම ඉදිරියටත් ලාංකිකයන් වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදීමට චීන රජය බලාපොරොත්තු වන බවයි.​තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අකුරණ, බානාගල ප්‍රදේශයේ අලුතින් ඉදිකළ චීන භාෂා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. ශ්‍රී ලංකා චීන බෞද්ධ සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පූජ්‍ය පරණගම ඥාණවිමල නාහිමියන්ගේ මඟපෙන්වීම සහ චීන තානාපති කාර්යාලයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කර තිබේ.​මෙම සංචාරයට සමගාමීව ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමද සිදු කෙරිණි. මෑතකාලීන ඉන්ධන අර්බුදය සහ ස්වභාවික ආපදා අවස්ථාවලදී චීනය ලබාදුන් කඩිනම් ආධාර පිළිබඳව සිහිපත් කළ තානාපතිවරයා, අසීරු අවස්ථාවලදී ශ්‍රී ලංකාව තනි නොකරන බවට යළිත් සහතික විය.​ඊයේ (12) දින පැවැති මෙම සුවිශේෂී අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ. මෙම නව භාෂා මධ්‍යස්ථානය හරහා දෙරටේ සංස්කෘතික සහ අධ්‍යාපනික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි බලධාරීහු විශ්වාසය පළ කරති.

What's your reaction?

Related Posts

1 of 1,094

Leave A Reply

Your email address will not be published. Required fields are marked *