අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් ගම්බිම් බලා යන මගීන් සඳහා අද (13) සහ හෙට (14) දෙදින පුරා විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීමට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පියවර ගෙන ඇත. විශේෂයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන් ගන්නා පිරිස් වෙනුවෙන් හෙට දිනයේදී අමතර බස් රථ බලඇණියක් සූදානම් කර ඇති බව එහි කළමනාකාරීත්වය සඳහන් කරයි. මගීන්ගේ පැමිණීම මත පදනම්ව ඕනෑම ප්‍රදේශයකට බස් රථ යෙදවීමට කාර්ය මණ්ඩලය සූදානමින් සිටින අතර, පවතින තත්ත්වයන් සලකා බලා ප්‍රමාණවත් මගීන් සංඛ්‍යාවක් සිටින සෑම අවස්ථාවකම ප්‍රවාහන පහසුකම් සලසා දීමට නියමිතය.පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ මගීන්ගේ යම් අඩුවක් දක්නට ලැබුණද, අවශ්‍යතාවය පරිදි බස් රථ ධාවනය කිරීමට පර්යන්ත බලධාරීන් කටයුතු යොදා තිබේ. හෙට උදෑසන කාලයේදී අවුරුදු චාරිත්‍ර සඳහා ගම්බිම් බලා යන මගීන් වැඩි වශයෙන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවින්, ඒ සඳහාද විධිමත් සැලසුම් සකස් කර ඇත. ජාතික සම්පත් නාස්තිය අවම වන පරිදි, අවම වශයෙන් බස් රථයක ආසන ධාරිතාවෙන් අඩක් හෝ පිරී පවතින අවස්ථාවලදී වහාම ගමන් වාර ආරම්භ කිරීමට මධ්‍යස්ථානය සූදානම්ව සිටියි.























