අශෝක රන්වලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකට අදාළව, හිටපු කථානායක සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට මහර මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (19) නියෝග කළේය. පසුගිය දෙසැම්බර් 11 වනදා සිදු වූ මෙම අනතුරෙන් බිළිඳෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලැබූ අතර, සැකකාර මන්ත්‍රීවරයා රිය ධාවනයට සුදුසු තත්ත්වයක පසුවන්නේද යන්න පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට නියෝග කළේය. සැකකරු ඊයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු මද්‍යසාර පානය කර සිටියේද යන්න තහවුරු කර ගැනීමට ලබාගත් සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවද මෙහිදී පොලිසිය සඳහන් කළේය.​තුවාල ලැබූ පාර්ශවයන් වෙත රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ලබා දී ඇති බව සැකකරුගේ නීතිඥවරයා පැවසුවද, තුවාල ලැබූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා එම මුදල භාර ගැනීමට අකමැත්ත පළ කළේය. නඩුව විභාග වෙමින් පවතින බැවින් අධිකරණයට වන්දි නියෝග කළ නොහැකි වුවත්, දෙපාර්ශවයේ එකඟතාව මත මුදල් ලබාගැනීමට බාධාවක් නොවන බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. අනතුරෙන් තුවාල සිදු නොවූ සැකකරු තවදුරටත් රෝහල්ගතව සිටීම පිළිබඳව මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රශ්න කළ අතර, ඔහුගේ පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය ඊට හේතුව බව නීතිඥවරයා ප්‍රකාශ කළේය. සිද්ධිය සම්බන්ධ වැඩිදුර නඩු විභාගය ලබන ජනවාරි 16 වනදාට කල් තැබිණි.

What's your reaction?

Related Posts

1 of 896

Leave A Reply

Your email address will not be published. Required fields are marked *