ආපදාවෙන් පසු පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු පිළිබඳ අගමැතිනිය සහ යුනිසෙෆ් (UNICEF) නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක්

මෑතකදී ඇති වූ ස්වභාවික ව්‍යසනය හේතුවෙන් හානියට පත් පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සහ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ යුනිසෙෆ් (UNICEF) නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් දෙසැම්බර් 20 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල පිහිටි පාසල් නැවත විවෘත කිරීම බරපතල අවදානමක් බැවින්, විද්‍යාත්මක පදනමක් මත එවැනි පාසල් හඳුනාගෙන ඒවා ආරක්ෂිත ස්ථාන කරා ගෙනයාමට රජය පියවර ගනිමින් සිටින බවයි. ආපදාවෙන් පීඩාවට පත් දෙමාපියන්ට සහ සිසුන්ට සහනයක් ලෙස මූල්‍ය ආධාර ලබා දී ඇති බවත්, දරුවන්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීමට පාසල් පද්ධතිය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බවත් ඇය මෙහිදී අවධාරණය කළාය.​තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, හානියට පත් පාසල් යටිතල පහසුකම් සංවර්ධනය, පාසල් ඒකාබද්ධ කර පවත්වාගෙන යාම, ඉගැන්වීම් කටයුතු සඳහා ඩිජිටල් සහ තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීම මෙන්ම විශේෂ ප්‍රවාහන පහසුකම් සැලසීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවයි. අධ්‍යාපන ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කිරීමට රජය දක්වන උනන්දුව අගය කළ යුනිසෙෆ් නියෝජිත පිරිස, ඒ සඳහා අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට සහතික වූහ. මෙම හමුව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීන් සහ යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 899

Leave A Reply

Your email address will not be published. Required fields are marked *