අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි, මෑතකදී ඇති වූ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පාසල් සිසුන් වෙනුවෙන් ‘සුරක්ෂා’ සිසු රක්ෂණ වැඩසටහන යටතේ විශේෂ සහන සැලසීමට පියවර ගෙන ඇත. ඒ අනුව, 2025 නොවැම්බර් 26 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ගංවතුර සහ සුළි කුණාටු වැනි ස්වාභාවික ආපදා හේතුවෙන් පීඩාවට පත් සිසුන් ඉදිරිපත් කරන හිමිකම් ඉල්ලීම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (SLICGL) එකඟතාව පළ කර තිබේ. මෙම කාලසීමාව තුළ සිදුවූ ආපදා හේතුවෙන් දෙමාපියන් හෝ නීත්‍යානුකූල භාරකරුවන් අහිමි වූ සිසුන් සඳහා, සාමාන්‍ය ආදායම් සීමාවන් සලකා බැලීමකින් තොරව අදාළ ප්‍රතිලාභ ගෙවීමට ද තීරණය කර ඇත.මීට අමතරව, මුල් ගිවිසුමේ සඳහන් නොවූවත්, ආපදා හේතුවෙන් සිදු වූ අනතුරු සඳහා බාහිර ප්‍රතිකාර, ඖෂධ ලබා ගැනීම සහ පරීක්ෂණ ගාස්තු වෙනුවෙන් රුපියල් 20,000 දක්වා ප්‍රතිලාභ ගෙවීමට ද අනුමැතිය ලැබී ඇත. ආපදා හේතුවෙන් ලේඛන විනාශ වූ සිසුන් සඳහා විදුහල්පති සහ ග්‍රාම නිලධාරී නිර්දේශ මත ප්‍රතිලාභ ලබා දීමට කටයුතු සූදානම් කර ඇති අතර, පෞද්ගලික රෝහල් බිල්පත් හෝ රජයේ රෝහල් වාර්තා විනාශ වී ඇත්නම් ඒ වෙනුවට සහතික කළ පිටපත් හෝ වෛද්‍ය නිර්දේශ ලිපි පිළිගැනීමට පියවර ගෙන ඇත. තවද, 2025 නොවැම්බර් 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ පීඩාවට පත් වූවන්ට තම හිමිකම් ඉදිරිපත් කිරීම සඳහා පවතින දින 90 ක කාලසීමාවට අමතරව තවත් දින 60 ක සහන කාලයක් ලබා දෙමින්, මුළු කාලය දින 150 ක් දක්වා දීර්ඝ කර තිබේ.


























