දිවයිනට බලපෑ දැඩි වර්ෂාව සහ ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබා දුන් කඩිනම් මානුෂීය ආධාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියෑන් උතුමාණන් සමඟ ඊයේ (19) පැවැති දුරකථන සංවාදයකදී, මෙරට මුහුණ දුන් අසීරු අවස්ථාවන්හිදී එම රට ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා ස්තූතිය පුද කළේය. මෙහිදී අරාබි ජනාධිපතිවරයා ගංවතුරින් අහිමි වූ ජීවිත සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කළ අතර, පවතින හානිය තක්සේරු කර වැඩිදුර ආධාර ලබා දීම සඳහා විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවන බව ද දැනුම් දුන්නේය.දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ මානුෂීය ප්‍රතිපත්තිය මත පදනම්ව, ආපදා තත්ත්වයන්හිදී ක්ෂණික සහන මෙන්ම දිගුකාලීන ප්‍රකෘතිමත් වීම සඳහා සහයෝගය දැක්වීමට තමන් කැපවී සිටින බව අරාබි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව දැනටමත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර ආධාර ආයතනය සහ එමිරේට්ස් රතු අඩසඳ සංවිධානය එක්ව මෙරට පීඩාවට පත් ප්‍රදේශවල සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. මීට අමතරව, අවතැන් වූ පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ හදිසි නවාතැන් පහසුකම් ලබා දීම ද අබුඩාබි සිවිල් ආරක්ෂක කණ්ඩායම් මැදිහත් වීමෙන් සිදු කෙරේ. මෙම කඩිනම් සහයෝගය ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින ශක්තිමත් සබඳතාවයේ පිළිබිඹුවක් බව ශ්‍රී ලංකා බලධාරීන් පෙන්වා දෙයි.

























