ආපදාවලින් පීඩාවට පත් ජනතාවට සහන සැපයීම සඳහා මේ වන විට රුපියල් බිලියන 13ක මුදලක් ලබා දී ඇති බව මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේය. සහන සැලසීම සඳහා ලැබුණු පරිත්‍යාග මෙන්ම භාණ්ඩාගාරයෙන් වෙන් කරන ලද මුදල් ද මෙම මුළු මුදලට ඇතුළත් වන බවත්, එම සියලු මුදල් ආධාර සැපයීම සඳහා යොමු කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. ආචාර්ය සූරියප්පෙරුම මහතා මේ බව කියා සිටියේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. පීඩාවට පත් ප්‍රජාවන්ගේ ජීවනෝපාය නැවත ස්ථාපිත කිරීමට සහ ව්‍යාපාර හිමියන්ගේ ආර්ථික කටයුතු යළි ආරම්භ කිරීමට සහාය වීම සඳහා මෙම අරමුදල් භාවිතා කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහ ව්‍යාපාර ප්‍රජාවට විවිධ මූලාශ්‍රවලින් ආධාර, උපකරණ සහ මූල්‍ය පරිත්‍යාග වශයෙන් ආධාර ලැබෙමින් පවතින බව පැවසූ ලේකම්වරයා, ඒ සියලු සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය. සහන බෙදා හැරීමේ යාන්ත්‍රණය ඵලදායීව ක්‍රියාත්මක වන බවත්, පීඩාවට පත් පුරවැසියන්, ප්‍රජාවන් සහ ප්‍රදේශ වෙත ආධාර සාර්ථකව ලබා දීමට එය හැකි වන බවත් ඔහු අවධාරණය කළේය.


























