පවත්නා ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවගේ ජීවනෝපාය මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 500ක අතිරේක ඇස්තමේන්තුවක් හෙට (දෙසැම්බර් 18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ඉල්ලීම පරිදි, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 16 හි විධිවිධානවලට අනුකූලව මෙම සතියේ බ්‍රහස්පතින්දා (18) සහ සිකුරාදා (19) යන දෙදින තුළ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව නිල නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි. කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.ඒ අනුව, දෙසැම්බර් 18 වැනිදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, එහිදී 2026 වර්ෂය සඳහා වන මෙම රුපියල් බිලියන 500ක අතිරේක මුදල ඉදිරිපත් කර රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතය. ඉන් අනතුරුව, අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳව රජය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. දෙසැම්බර් 19 වැනිදා ද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වන අතර, එදින අදාළ රුපියල් බිලියන 500ක අතිරේක ප්‍රතිපාදනය පිළිබඳ විවාදය පවත්වා එය අනුමත කර ගැනීමට නියමිතව තිබේ.


























