ආර්ථිකය දිනවන්න ජාත්‍යන්තරයේ පූර්ණ සහය!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපනය සහ දිගුකාලීන වර්ධනය වෙනුවෙන් එම ආයතනයේ කැපවීම යළි තහවුරු කෙරිණි. මැක්‍රෝ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම, පාලන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සහ විශේෂයෙන් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ග්‍රාමීය ජීවනෝපාය නංවාලීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. ශ්‍රී ලංකාව මේ වන විට බොහෝ දුරක් පැමිණ ඇති බවත්, රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ රටට සහ ජනතාවට යහපත් ප්‍රතිඵල ලබා දෙමින් පවතින බවත් සඳහන් කළ ජෝර්ජියේවා මහත්මිය, සැමට සමෘද්ධිය උදාකරන ශක්තිමත් ආර්ථික වර්ධනයක් සඳහා මෙම ගමන් මඟෙහිම රැඳී සිටීමේ වැදගත්කම අවධාරණය කළාය.​ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළ පරිදි, මෑතකාලීන ආපදාවලදී රජය දැක්වූ කඩිනම් ප්‍රතිචාරය සහ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ සඳහා වන කැපවීම සංවර්ධනය වේගවත් කිරීමට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් බව IMF ප්‍රධානිනිය පෙන්වා දුන්නාය. ආපදා පසුපස සහන කටයුතු වෙනුවෙන් දැනටමත් අමෙරිකානු ඩොලර් මිලියන 200 ක හදිසි මූල්‍ය පහසුකම් ලබා දී ඇති අතර, ආර්ථික වර්ධන වේගය සියයට 7-8 දක්වා ඉහළ නැංවීමේ සහ පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීමේ අවශ්‍යතාවද ඇය පෙන්වා දුන්නාය. ආර්ථිකය ස්ථාවර කිරීමට සහ අවදානමට ලක්වූ ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ජාත්‍යන්තර සහයෝගීතාව ඉවහල් වූ බව පැවසූ ජනාධිපතිවරයා, සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට ගොස් ග්‍රාමීය සංවර්ධනය සහ රැකියා අවස්ථා පුළුල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව ප්‍රකාශ කළේය.​මෙම නිල හමුවට පෙර, ජෝර්ජියේවා මහත්මිය ගම්පොළ ප්‍රදේශයේ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව සහ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවතුර නායයෑමෙන් විපතට පත් ගම්මානය නිරීක්ෂණය කළාය. එහිදී විපතට පත්වූවන් සහ දරුවන් සමඟ සුහදව කතාබහ කළ ඇය, ප්‍රජාවන්ගේ දරාගැනීමේ ශක්තිය අගය කළ අතර රජයේ සම්බන්ධීකරණ ආපදා සහන ක්‍රියාවලියට ප්‍රශංසා කළාය. බලපෑමට ලක් වූ ප්‍රදේශවල නිවාස, ජීවනෝපාය මාර්ග සහ මධ්‍යකාලීන ආර්ථික කටයුතු නැවත ගොඩනැගීම තිරසාර හා සියලු දෙනා ඇතුළත් වන අයුරින් සිදුවිය යුතු බව ඇය එහිදී වැඩිදුරටත් අවධාරණය කළාය. මෙම සංචාරය සඳහා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,033

Leave A Reply

Your email address will not be published. Required fields are marked *