පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව (ADB) මෙරට සඳහා වෙන් කර තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 380ක ප්‍රතිපාදන ඩොලර් මිලියන 480 දක්වා ඉහළ නැංවීමටත්, ඉන් ඩොලර් මිලියන 200ක් කඩිනමින් මුදා හැරීමටත් එකඟතාව පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා ඇතුළු දූත පිරිස සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (24) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදී මේ බව දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබා ගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. විශේෂයෙන්ම සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ සඳහා බැංකුවේ සහාය රජය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය සහ ස්වභාවික ව්‍යසනයන් හමුවේ වුවද මෙරට ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට රජය ගන්නා උත්සාහය බැංකු සභාපතිවරයාගේ ඇගයීමට ලක් වූ අතර, විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැගීමට ඕනෑම සහායක් ලබා දීමට සූදානම් බව ඔහු සහතික විය.මධ්‍යම කඳුකරයේ ජල මූලාශ්‍ර පද්ධති ආරක්ෂා කිරීම ඇතුළුව ඉදිරියේදී මෙවැනි ආපදා තත්ත්වයන් වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට දායක වීමට ද ආසියානු සංවර්ධන බැංකුව මෙහිදී කැමැත්ත පළ කළේය. ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගනිමින් ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම වර්තමාන රජයේ ප්‍රධාන අරමුණක් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ අතර, බැංකුව මෙතෙක් ලබා දුන් සහයෝගයට සිය කෘතඥතාව පළ කළේය. මෙම සාකච්ඡාව සඳහා දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සෝනා ශ්‍රෙස්තා මහත්මිය ඇතුළු බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
























