ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට WFP සහය

ලෝක ආහාර වැඩසටහනේ (WFP) මෙරට නියෝජිත පිලිප් වෝඩ් මහතා සහ රජයේ හවුල්කාරිත්ව නිලධාරී මුස්තාෆා නිහ්මත් මහතා, පසුගිය සඳුදා (4) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස මහතා හමුවිය. මෙම හමුවේදී WFP උපායමාර්ගික සැලැස්ම 2023–2027 සහ ශ්‍රී ලංකාවේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා රජය සමඟ අනාගත සහයෝගීතාව පිළිබඳව අවධානය යොමු විය. මව්වරුන් සහ දරුවන් අතර පෝෂණය වැඩි දියුණු කිරීම, මන්දපෝෂණය අඩු කිරීම සහ පෝෂ්‍යදායී ආහාර සඳහා වඩා හොඳ ප්‍රවේශයක් තුළින් සෞඛ්‍ය සම්පන්න ජනගහනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා WFP විසින් සපයනු ලබන අඛණ්ඩ සහයෝගය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එසේම, දේශීයව නිෂ්පාදනය කරන ආහාර සඳහා නිසි වෙළෙඳපොළ නිර්මාණය කිරීමේ ක්‍රමවේදයන් ද ඔවුන් විසින් ගවේෂණය කරන ලදී. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, පෝෂණය සහ දේශගුණික හා ආර්ථික අභියෝගවලට එරෙහිව ප්‍රජා ඔරොත්තු දීමේ හැකියාව සඳහා WFP දරන ප්‍රයත්නයන්ට නායකත්වය දීම වෙනුවෙන් අමාත්‍ය ජයතිස්ස මහතා වෝඩ් මහතාට ස්තූතිය පළ කළේය. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් සුවය ලබමින් සිටින මොහොතක, ආහාර පද්ධති යළි ගොඩනැංවීම සහ සියලු දෙනාට පෝෂණය සහතික කිරීම සඳහා WFP හි කාර්යභාරය ද අමාත්‍යවරයා අගය කළේය. 1968 වසරේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන WFP ආයතනය, පෝෂණය සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා වන ජාතික ප්‍රයත්නයන්ට අඛණ්ඩව සහාය දක්වයි. වෝඩ් මහතා ද, රජයේ සහ අමාත්‍යවරයාගේ අඛණ්ඩ සහයෝගය සහ සහයෝගීතාව පිළිබඳව කෘතඥතාව පළ කළේය.

What's your reaction?

Related Posts

1 of 825

Leave A Reply

Your email address will not be published. Required fields are marked *