අධ්‍යාපන අමාත්‍යවරයා මෙරට නොමැති අවස්ථාවක විශ්වාසභංග යෝජනාවක් පිළිබඳ විවාදය කඩිනම් කිරීමට රජය උත්සාහ කරන්නේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැහැදිලි ක්‍රියාවලියක් දක්වා ඇති බවත්, එය රජයට අවශ්‍ය පරිදි තීරණය කළ හැක්කක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය. අමාත්‍යවරයා නොමැති අවස්ථාවක මෙම විවාදය පැවැත්වීමට රජය දක්වන උනන්දුව පිටුපස ඇයට එරෙහිව කුමන්ත්‍රණයක් පවතින්නේ දැයි සැකයක් මතුවන බව ද ඔහු සඳහන් කළේය.විපක්ෂය විසින් නිසි ක්‍රියාපටිපාටියට අනුව අවශ්‍ය අත්සන් සහිතව මෙම යෝජනාව ඉදිරිපත් කරන බව තහවුරු කළ විපක්ෂ නායකවරයා, “පුළුවන් නම් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉල්ලා ඇති පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ තෙදින විවාදයක් හෙට සිටම ආරම්භ කරමු” යැයි රජයට අභියෝග කළේය. එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කළ ප්‍රේමදාස මහතා, අසභ්‍ය වෙබ් අඩවි ප්‍රසිද්ධ කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවිය යුතු බවත්, සමාජ විරෝධය මැද විශාල මුදලක් වැය කරමින් එවැනි දෑ මුද්‍රණය කර බෙදාහැරීමේ වගකීම රජය විසින් විපක්ෂය පිට පැටවීමට උත්සාහ කරන බවටත් චෝදනා කළේය.


























