ඇමරිකා එක්සත් ජනපදයේ යුදවාදී ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මුස්ලිම් ප්‍රජාව සංවිධානය කළ විශේෂ උද්ඝෝෂණයක් අද කොළඹ දවටගහ පල්ලිය අසලදී පැවැත්විණි. වහාම යුද්ධය නතර කරන ලෙස බලකරමින් පැවැති මෙම විරෝධතාව සඳහා ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කෝශ් මහතා ද එක්වීම විශේෂත්වයක් විය. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ විශාල පිරිසක් ඇමරිකානු විරෝධී පුවරු ප්‍රදර්ශනය කරමින් මෙහිදී සිය විරෝධය පළ කළහ.මෙම අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඉරාන තානාපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ක්‍රියාකලාපය ඇගයීමට ලක් කළේය. විශේෂයෙන්ම මෑතකදී අනතුරට පත්වූ ඉරාන දෙවන යුද නෞකාව බේරාගැනීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මැදිහත් වූ ආකාරය පිළිබඳව තානාපතිවරයා සිය ප්‍රසාදය පළ කර සිටියේය.ලෝක සාමය උදෙසා ඇමරිකාව සිය යුද මෙහෙයුම් නතර කළ යුතු බව උද්ඝෝෂකයින් අවධාරණය කළ අතර, විරෝධතාව හේතුවෙන් දවටගහ පල්ලිය අවට ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී ස්වභාවයක් ද දක්නට ලැබුණි. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව මෙවැනි අවස්ථාවකදී තවදුරටත් තහවුරු වන බව ද මෙහිදී ප්‍රකාශ විය.

























