ඇමරිකා එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තයේ සිදු වූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයන් හතර දෙනකු මියගොස් තවත් 12 දෙනකු තුවාල ලබා ඇති අතර, එයින් සිව් දෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.ප්‍රාන්ත අගනුවර වන ජැක්සන් (Jackson) සිට සැතපුම් 120ක් (කිලෝමීටර් 190ක්) ඊසාන දෙසින් පිහිටි කුඩා නගරයක් වන ලීලන්ඩ් (Leland) හි ප්‍රධාන වීදියේදී මධ්‍යම රාත්‍රියට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව එම කුඩා නගරයේ නගරාධිපති ජෝන් ලී මහතා පැවසීය.තුවාල ලැබූවන් හතර දෙනකු ගුවන් මගින් රෝහල් ගත කළ බවද ලී මහතා වැඩිදුරටත් පැවසීය. මේ වන විට කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැති නමුත්, පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී.සාමාන්‍යයෙන් සරත් සෘතුවේ දී වාර්ෂිකව පවත්වනු ලබන එක්සත් ජනපද සම්ප්‍රදායක් වන “හෝම්කමින්” (Homecoming) සැමරීම සඳහා ප්‍රදේශයේ උසස් පාසලේ පාපන්දු තරගයක් පැවැත්වීමට නියමිතව තිබූ බැවින් සිකුරාදා දින ලීලන්ඩ් නගරය වෙනදාට වඩා කාර්යබහුලව පැවතිණි. කෙසේ වෙතත්, වෙඩි තැබීම ලීලන්ඩ් උසස් පාසල් භූමියේ සිදු නොවූ බව නගරාධිපතිවරයා පැවසීය.”අපි අවුරුදු ගණනාවක් තිස්සේ වාර්ෂිකව පවත්වන මේ උත්සවයේ මෙවැනි සිදුවීමක් කිසිම දිනක වාර්තා වී නැහැ,” යැයි ලී මහතා පැවසීය. “අපේ නගරයේ විශාල අපරාධ නැහැ. 3,700 ක පමණ ජනතාවක් ඉන්නේ. අපි හැමෝම සමගියෙන් ඉන්නවා, හැමෝම එකිනෙකාව හොඳින්ම දන්නවා. ඒ නිසා මෙය අපට සැබෑ ඛේදවාචකයක්.”ලීලන්ඩ් සිට සැතපුම් 200ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි මිසිසිපි හි තවත් කුඩා නගරයක් වන හයිඩෙල්බර්ග් (Heidelberg) හි ද සිකුරාදා රාත්‍රියේදී දරුණු වෙඩි තැබීමක් වාර්තා විය.එම ප්‍රහාරය ද නගරයේ හෝම්කමින් සති අන්තය තුළ සිදුව ඇති අතර, එයින් ජීවිත දෙකක් අහිමි වූ බව හයිඩෙල්බර්ග් පොලිස් ප්‍රධානී කෝනෙල් වයිට් මහතා පැවසීය.කෙසේ වෙතත්, ලීලන්ඩ් සහ හයිඩෙල්බර්ග් වෙඩි තැබීම් දෙක එකිනෙකට සම්බන්ධ බවට කිසිදු ඇඟවීමක් මේ වන තෙක් සිදුකර නොමැත.