ඇමරිකාවේ වසර 50ක නිහඬතාව බිඳෙයි: රිලයන්ස් ආයෝජනයෙන් දැවැන්ත තෙල් පිරිපහදුවක්!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වසර 50කට පසු එරට ඉදිවන පළමු නව තෙල් පිරිපහදුව පිළිබඳ නිවේදනය කර ඇත. ඉන්දියානු ප්‍රකෝටිපති මුකේෂ් අම්බානිගේ ‘රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්’ (Reliance Industries) ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් ඉදිවන මෙය, ඇමරිකානු ඉතිහාසයේ විශාලතම ගනුදෙනුව ලෙස සැලකෙන ඩොලර් බිලියන 300ක දැවැන්ත ව්‍යාපෘතියකි. ටෙක්සාස් ප්‍රාන්තයේ බ්‍රවුන්ස්විල් (Brownsville) වරාය කේන්ද්‍ර කරගනිමින් ඉදිවන මෙම පිරිපහදුව ලොව පිරිසිදුම තෙල් පිරිපහදුව වනු ඇති බවත්, එමඟින් ඇමරිකාවේ බලශක්ති නිෂ්පාදනය සහ ජාතික ආරක්ෂාව තහවුරු වන බවත් ජනාධිපතිවරයා සිය Truth Social ගිණුම හරහා සඳහන් කර තිබේ.​’ඇමරිකා ෆස්ට් රිෆයිනින්’ (America First Refining) ආයතනය මඟින් සංවර්ධනය කෙරෙන මෙම මධ්‍යස්ථානය 100%ක්ම ඇමරිකානු ශේල් ඔයිල් (Shale oil) පිරිපහදු කිරීම සඳහා සැලසුම් කර ඇත. වසර 20ක දීර්ඝකාලීන ගිවිසුමක් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් ඩොලර් බිලියන 125ක් වටිනා බොරතෙල් බැරල් බිලියන 1.2ක් පිරිපහදු කිරීමට නියමිත අතර, එමඟින් ඩොලර් බිලියන 175ක් වටිනා නිමි නිෂ්පාදන ගැලුම් බිලියන 50ක් නිපදවනු ඇත. ඇමරිකාව සතුව පවතින අතිරික්ත ශේල් ඔයිල් සම්පත නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට මෙතෙක් පැවති පිරිපහදු ධාරිතාවයේ හිඟයට මෙය තිරසාර විසඳුමක් වනු ඇති බව ව්‍යාපෘති බලධාරීන් පවසති.​මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යමින් පවතින වටපිටාවක මෙම පිරිපහදුව ආරම්භ කිරීම විශේෂත්වයකි. ඇමරිකා – ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල පසුගියදා බැරලයක් ඩොලර් 120 සීමාවට ආසන්න වූ අතර, මෙවැනි මිල උච්චාවචනයන් හමුවේ දේශීය පිරිපහදු ධාරිතාව ඉහළ නැංවීම ඇමරිකානු ආර්ථිකයට විශාල ශක්තියක් වනු ඇත. ලොව විශාලතම තෙල් පිරිපහදුවේ හිමිකාරීත්වය දරන රිලයන්ස් සමාගමේ මෙම නව ආයෝජනය, දෙරටේ ආර්ථික සබඳතාවල ද නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 666

Leave A Reply

Your email address will not be published. Required fields are marked *