ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

මැදපෙරදිග කලාපීය යුදමය වාතාවරණය සමනය කිරීමේ අරමුණින් පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැති ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. ඊයේ (11) ඉස්ලාමාබාද්හි සෙරීනා හෝටලයේදී ආරම්භ වූ මෙම විශේෂ හමුව පැය 12කට අධික කාලයක් පුරා පැවැත්වුවද, දෙරටේ නියෝජිතයින්ට පොදු එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇත. සාකච්ඡා වටයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් තහවුරු කළේ තම පාර්ශවය අවංක වුවමනාවකින් සාකච්ඡාවට එක්වුවද, ඉරානය ඉදිරිපත් කළ කොන්දේසිවලට එකඟ නොවූ බවයි.​මෙම රාජ්‍යතාන්ත්‍රික හමුවේ ප්‍රධානතම අර්බුදය බවට පත්ව ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනයි. ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම ඇමරිකාවේ මූලික ඉලක්කය වූ අතර, ඊට ඉරාන නියෝජිතයින් විරෝධය පළ කිරීම සාකච්ඡා බිඳ වැටීමට හේතු වී තිබේ. අදාළ සාකච්ඡා වටවලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් ඇමරිකානු නියෝජිත පිරිස වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්තානයෙන් පිටත්ව යාමට තීරණය කර ඇති බවද වාර්තා වේ.​සාකච්ඡා අසාර්ථක වුවද, මෙම ක්‍රියාවලිය සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරමින් සත්කාරකත්වය සැපයූ පාකිස්තානයට උප ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කළේය. වර්තමාන තත්ත්වය මත මැදපෙරදිග අර්බුදය තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් පවතින බවත්, සාමයට ඇති අවස්ථා මෙලෙස ඇහිරී යාම ජාත්‍යන්තර දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්වන කරුණක් බවට පත්ව තිබේ.

What's your reaction?

Related Posts

1 of 716

Leave A Reply

Your email address will not be published. Required fields are marked *