ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් හමු වූ අති පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා අද දහවල් 1.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත වැඩම කරවනු ලැබීය. 1960 දශකයේදී පුරාවිද්‍යා කැණීම්වලින් හමු වූ මෙම පූජනීය ධාතූන් වහන්සේලා ඉන්දියාවෙන් පිටතට වැඩම කරවූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මැදිහත්වීමෙන් සහ ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ඇතිව සිදු කෙරෙන මෙම ධාතු ප්‍රදර්ශනය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද ආරම්භ වීමට නියමිතය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පසුගියදා පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික ජනතාවට මෙම දුර්ලභ අවස්ථාව හිමිව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන පරිදි, මෙම උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා හෙට (පෙබරවාරි 05) සිට පෙබරවාරි 11 වනදා දක්වා පුරා දින හතක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී මහජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.


























