ඉන්දීය රජය විසින් සිය 2026 අයවැය මඟින් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් බිලියන 4ක ආධාර මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබේ. ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් පෙබරවාරි 01 වන ඉරිදා දින ඉදිරිපත් කරන ලද වාර්ෂික අයවැය මඟින් ගෝලීය අවිනිශ්චිතතාවන් හමුවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා නිෂ්පාදන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම කෙරෙහි නැවතත් දැඩි අවධානයක් යොමු කර ඇත. ඒ අනුව ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා වන මෙම අයවැය හරහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකිරීම, ශක්තිමත් මූල්‍ය අංශයක් ගොඩනැගීම සහ කෘතිම බුද්ධිය (AI) ඇතුළු දියුණු තාක්ෂණයන් සඳහා වන ආයෝජන ඉහළ නැංවීමට ප්‍රමුඛතාව ලබා දී තිබේ.වසරකට මිලියන සංඛ්‍යාත පිරිසක් ශ්‍රම බලකායට එක්වන පසුබිමක රැකියා උත්පාදනය සඳහා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ඉහළ නැංවීම තීරණාත්මක සාධකයක් බව මෝදි පරිපාලනය හඳුනාගෙන ඇත. මේ වන විට ඉන්දීය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 20කට වඩා අඩු මට්ටමක පවතින නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය සියයට 25 දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇති අතර, එය සපුරා ගැනීම සඳහා පවතින අභියෝග ජය ගැනීමට මෙම අයවැය මඟින් විවිධ යෝජනා ඉදිරිපත් කර ඇත.


























