ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙරට නිල සංචාරයක

මිත්‍රශීලී විදේශීය රටවල් සමඟ පවතින ආරක්ෂක සහයෝගීතාව සහ හමුදාමය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මහතා ජනවාරි 5 සිට 8 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ. මෙම සංචාරය හරහා ඉන්දියන් සාගර කලාපයේ සහ බටහිර ආසියාවේ මිත්‍ර රටවල් සමඟ අන්‍යෝන්‍ය විශ්වාසය වර්ධනය කිරීම සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීමට ඉන්දියාව දක්වන කැපවීම යළිත් තහවුරු වන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ජනවාරි 5 සහ 6 යන දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කරන ඒ මහතා, එරට සන්නද්ධ හමුදා නායකත්වය හමුවීමටත්, ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් ඇමතීමටත් නියමිත අතර, එරට ගොඩබිම් හමුදාව විසින් පිරිනමනු ලබන උත්තමාචාර මුරයක්ද පිළිගනු ඇත.​අනතුරුව ජනවාරි 7 සහ 8 යන දිනවලදී ඉන්දීය යුද හමුදාපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. මෙහිදී ඔහු ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා සහ සිවිල් නායකත්වය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. මෙම සාකච්ඡාවලදී පුහුණු සහයෝගීතාව, ධාරිතා වර්ධනය සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරේ. මීට අමතරව හමුදා සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය (DSCSC) සහ බුත්තල යුද හමුදා යුද විද්‍යාලයේ නිලධාරීන් ඇමතීමට නියමිත ඒ මහතා, සිය සංචාරය අතරතුර ඉන්දීය සාම සාධක හමුදා (IPKF) ස්මාරකය වෙත ගොස් දිවි පිදූ ඉන්දීය සෙබළුන්ට උපහාර දැක්වීමටද නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 930

Leave A Reply

Your email address will not be published. Required fields are marked *