AI Impact 2026 සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නිල හමුවක් නව දිල්ලියේ හයිද්‍රාබාද් මන්දිරයේදී පැවැත්විණි. එහිදී අග්‍රාමාත්‍ය මෝදි මහතා විසින් ජනාධිපතිවරයාව ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, සමුළුවට සහභාගී වීම සඳහා කළ ආරාධනය පිළිගැනීම පිළිබඳව සිය ස්තූතිය ද පුද කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.දෙරටේ නායකයන් අතර පැවති මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව අදහස් හුවමාරු කර ගැනිණි. විශේෂයෙන්ම ආර්ථික, වෙළඳ සහ සංස්කෘතික යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම මෙන්ම දෙරටටම වැදගත් වන පොදු කරුණු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බව එම නිවේදනයේ සඳහන් වේ. මීට අමතරව, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල වූ අවස්ථාවේදී ඉන්දියාව ලබා දුන් සහයෝගය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීය.


























