රට තුළ පවතින ඉන්ධන අවශ්‍යතාවය කළමනාකරණය කිරීම සඳහා පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ වෙත ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් ඩිපෝ මඟින් සෘජුවම ඉන්ධන නිකුත් කිරීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මගී ප්‍රවාහන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සහ මහජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.බස් රථවලට අමතරව, මෙරට නිෂ්පාදන ක්‍රියාවලියට සෘජුව දායක වන වාහන සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා විශේෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය සූදානම් වේ. අදාළ ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ හරහා ආර්ථිකයට වැදගත් වන ක්ෂේත්රයන් සඳහා බාධාවකින් තොරව බලශක්ති සැපයුම සහතික කිරීමට නියමිතය.මේ අතර, පවතින තත්ත්වය හමුවේ ඉන්ධන පාරිභෝජනය සීමා කරන ලෙස බලශක්ති අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළේය. මොරටුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, තමන්ගේ පවුල ගැන පමණක් නොව රටේ පොදු අවශ්‍යතාවය ගැන සිතා කටයුතු කිරීම මේ මොහොතේ සෑම පුරවැසියෙකුගේම වගකීමක් බවයි.විශේෂයෙන්ම මෙම කාලසීමාව තුළ අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙසත්, තමන් සතුව ප්‍රමාණවත් ඉන්ධන පවතී යැයි සිතා අනිසි ලෙස භාවිත නොකර එය උපරිමයෙන් කළමනාකරණය කරගන්නා ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය. සාධාරණ පාරිභෝජන රටාවකට හුරු වීම හරහා රට මුහුණ දී ඇති අර්බුදය ජය ගැනීමට සහාය වන ලෙස රජය ජනතාවට දැනුම් දෙයි.


























