ඉන්දියාව සිය පෙට්‍රල් සහ ඩීසල් සඳහා පනවා තිබූ විශේෂ සුරාබදු අඩු කිරීමට ගත් තීරණය පදනම් කරගනිමින්, ශ්‍රී ලංකා රජය ද මෙරට ඉන්ධන මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, ඉන්දීය පාරිභෝගිකයා මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම සඳහා නරේන්ද්‍ර මෝදි රජය පෙට්‍රල් මත පනවා තිබූ විශේෂ අමතර සුරාබදු අඩු කිරීමටත්, ඩීසල් මත පනවා තිබූ බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත් පියවර ගෙන ඇති බවයි. තම මැතිවරණ පොරොන්දු ඉටු කරමින් ඉන්දියාවේ මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට අනුර කුමාර දිසානායක මහතාට දැන් සුදුසුම කාලය එළඹ ඇති බව ද ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.ඉරානය ආශ්‍රිතව පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යෑමේ අවදානම සලකා බැලූ ඉන්දීය මුදල් අමාත්‍යාංශය, පෙට්‍රල් ලීටරයක විශේෂ සුරාබද්ද ඉන්දීය රුපියල් 13 සිට 3 දක්වා අඩු කර ඇති අතර ඩීසල් ලීටරයකට අය කළ රුපියල් 10 ක බද්ද ශුන්‍යය දක්වා අඩු කර තිබේ. කෙසේ වෙතත්, මෙම බදු කප්පාදුව හරහා රජයට සිදුවන පිරිවැය මෙතෙක් අනාවරණය කර නොමැත.ගල්ෆ් කලාපයේ ඉරානයට එල්ල වූ එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලොව ගෑස් සහ තෙල් අවශ්‍යතාවයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කරන හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි ප්‍රධාන මුහුදු මාර්ගවල සැපයුම් අඩාල වීම නිසා ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය වී ඇත. ඉන්දියාව මෙම බදු සංශෝධනය සිදු කර ඇත්තේ එම වාතාවරණය මධ්‍යයේ වන අතර, වාර්තා වන අන්දමට මෙම පියවරේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ සිල්ලර මිල සෘජුවම අඩු කිරීමට වඩා තෙල් සමාගම්වලට සිදුවන පාඩුව අවම කර ගැනීමයි.
























