ඉරානය වෙත ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීම “කාලය අපතේ යැවීමක්” බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි. NBC පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානය ආක්‍රමණය කිරීමට සැලසුම් කරන බවට එල්ල වන චෝදනා පදනම් විරහිත බවයි. ඉරානයට මේ වන විටත් ඔවුන්ගේ නාවික හමුදාව ඇතුළු සියලු වැදගත් ආරක්ෂක සම්පත් අහිමි වී අවසන් බවත්, අහිමි වීමට තවත් දෙයක් ඔවුන් සතු නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.කෙසේ වෙතත්, ඉරානය සඳහා නව නායකයෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී අමෙරිකාවේ මැදිහත්වීමක් පවතින බවට ට්‍රම්ප් ඉඟි කර ඇත. රට තුළ පවතින “සියලු දේ පිරිසිදු කර” නව ගමනක් යා යුතු බව පවසන ඔහු, දශකයක කාලයක් පුරා රට නැවත ගොඩනැගීමට උත්සාහ කරන පාලකයෙකු තමන්ට අවශ්‍ය නොවන බව සඳහන් කළේය. ඉරානයට වඩාත් සුදුසු සහ දක්ෂ නායකයෙකු පත් විය යුතු බවත්, ඒ සඳහා සුදුසු පුද්ගලයින් කිහිප දෙනෙකු පිළිබඳව දැනටමත් අවධානය යොමු වී ඇති බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.එම නායකයින් කවුරුන්ද යන්න ජනාධිපතිවරයා මෙහිදී නාමිකව හෙළි නොකළද, පවතින යුදමය වාතාවරණය හමුවේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය. අනාගත නායකත්වය සඳහා යෝජිත පුද්ගලයින් යුද්ධයේදී මිය නොයන බව සහතික කිරීමට අවශ්‍ය නිරීක්ෂණ කටයුතු අමෙරිකාව විසින් සිදු කරන බව ද ට්‍රම්ප් සහතික කර සිටියි. මේ හරහා ඉරානයේ අනාගත දේශපාලන ගමන්මඟ තීරණය කිරීමේදී අමෙරිකාව තීරණාත්මක බලපෑමක් එල්ල කරන බව පැහැදිලි වෙයි.


























