ඉරාන ජනාධිපතිවරයාගේ මරණයට අමෙරිකාව වගකිව යුතුයි

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ඇතුළු පිරිසගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතව ඇතැයි ඉරාන මාධ්‍ය පවසනවා.

ඉරානයේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් ශරීෆ් පවසන්නේ ඉරාන ජනාධිපතිවරයාගේ මරණයට අමෙරිකාව වගකිව යුතු බවයි.

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය හේතුවෙන් මෙරට තුළ ද අද ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අභාවය හේතුවෙන් දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පියවර ගත්තා.

ඉරාන ජනාධිපතිවරයා ඇතුළු මියගිය පිරිසගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතව ඇතැයි ද ඉරාන මාධ්‍ය වාර්තා කළා.

ලක්ෂ සංඛ්‍යාත ඉරාන වැසියන් එරට අගනගරය වන ටෙහරාන් වෙත රැස්ව සිටින බවද සඳහන්.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු 9 දෙනෙකු ගමන්ගත් හෙලිකොප්ටරය ගොඩබැස්වීමට යාමේදී ගිනි ගෙන විනාශ වී තිබුණේ
පෙරේදා දිනයේයි.

මෙම හෙලිකොප්ටරයේ ගමන්ගත් තබ්රිස් පළාතේ ඉමාම්වරයා වූ මුහම්මද් අලි අල් හෂීම් නම් මවුලවිවරයා අනතුරින් පසුව පැය 18ක පමණ කාලයක් ජීවතුන් අතර සිටි බවත් එම කාලය ඇතුළත ජනාධිපති කාර්යාලයට දුරකතන ඇමතුමක් දීමට දැඩි උත්සාහයක නිරත වී ඇති බවත් එරට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙහෙයුම් කණ්ඩායම් අදාළ ස්ථානය වෙත ළඟා වන විට ද ජීවතුන් අතර සිටි ඔහු ඔවුන්ගේ පැමිණීමෙන් පැයකට පමණ පසු ජීවිතක්ෂයට පත් වූ බව එම වාර්තාවල දැක්වෙනවා.

මේ අතර ඉරානයේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් ශරීෆ් පවසන්නේ ඉරාන ජනාධිපතිවරයාගේ මරණයට අමෙරිකාව වගකිව යුතු බවයි.

ඉරානයට සම්බාධක පැනවීමට අමෙරිකාව මූලිකව කටයුතු කළ බවත්, ඒ හේතුවෙන් ඉරානයට ගුවන් යානා සහ ගුවන් යානා අමතර කොටස් මිලදී ගැනීම් සඳහා බාධා පැමිණි බවත් ඔහු පෙන්වා දෙනවා.

කෙසේවෙතත් අමෙරිකාව පවසන්නේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි යනු ඝාතන රැසකට වගකිව යුතු, දෑත්වල ලේ තැවරුණු අයෙකු බවයි.

මේ අතර ඉරාන ජනාධිපතිවරයාට මරු කැඳවූ අනතුර සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස එරට යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි මොහොමඩ් බගේරි නියෝග කර ඇතැයි ඉරාන මාධ්‍ය සඳහන් කරනවා.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් කිරීමට ඉරානය තීරණය කරන්නේ නම් ඒ සඳහා සහාය වීමට ඉදිරිපත් වන බව රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සර්ජියෝ ෂොයිගු ප්‍රකාශ කර තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයා වෙනුවෙන් ලෝක නායකයින් රැසක් ශෝකය පළකර ඇති අතර අද මෙරට තුළ ද රජයේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර ඇති ආකාරයත් දක්නට ලැබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *