ශ්‍රී ලංකාවට රැගෙන එන ලද මියගිය ඉරාන නාවිකයන්ගේ මෘතදේහ නඩත්තුව සඳහා වැයවන සියලු වියදම් මානුෂීය පදනමින් රජය විසින් දරනු ලබන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. මීට පෙර සමගි ජන බලවේගයේ (SJB) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මෙම කටයුත්ත සඳහා වැයවන අතිවිශාල පිරිවැය සහ මෙහි ඇති රාජ්‍යතාන්ත්‍රික අවදානම පිළිබඳව ප්‍රශ්න කරමින් කියා සිටියේ, අදාළ නාවිකයන් ඇමරිකාවට සහ ඉරානයට අවශ්‍ය පුද්ගලයන් බවට වාර්තා පළවන බැවින් රජය අනවශ්‍ය ගැටලුවකට මැදිවී ඇති බවයි. විශේෂයෙන්ම අධිශීතකරණ පහසුකම් සඳහා වැයවන මුදල සහ මෙම මෘතදේහ කොපමණ කාලයක් තබා ගැනීමට සිදුවේද යන්න පිළිබඳව ඔහු විවේචනය කළේය.මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සමාජ මාධ්‍ය සටහනක් තබමින් අවධාරණය කළේ, අදාළ මෘතදේහ ශ්‍රී ලංකාව තුළ පවතින තාක් සහ තුවාල ලැබූ නාවිකයන් ශ්‍රී ලංකාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන තාක් ඔවුන්ගේ සියලු වගකීම් සහ වියදම් රජය භාර ගන්නා බවයි. මෙය සම්පූර්ණයෙන්ම මානුෂීය පදනම මත සිදුකරන මැදිහත්වීමක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

























