සති තුනකට අධික කාලයක් අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ දැවැන්ත ප්‍රහාර හමුවේ ඉරානයේ යුද ශක්තිය සහ ජ්‍යෙෂ්ඨ නායකත්වය බිඳවැටී ඇති බවත්, එමඟින් අපේක්ෂිත පාලන වෙනස සඳහා මග පෑදී ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ‘ද වොෂින්ටන් පොස්ට්’ පුවත්පත වාර්තා කරන අන්දමට, ඉරානය සමඟ පැවති ගැටුම දැනටමත් ජයගෙන අවසන් බව පවසන ට්‍රම්ප්, දෙරට අතර මූලික මට්ටමේ සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී ඇති බව තහවුරු කර ඇත.පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීම හේතුවෙන් මතුව ඇති අර්බුදයට විසඳුම් ලෙස සටන් විරාමයක් ඇති කිරීමට ඊජිප්තුව, පාකිස්ථානය සහ තුර්කිය යන රටවල් මැදිහත් වී තිබේ. මෙම රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම සඳහා අමෙරිකානු පාර්ශවයෙන් උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ ජැරඩ් කුෂ්නර් ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් එක්ව සිටින බව ජනාධිපතිවරයා සඳහන් කරයි.කෙසේ වෙතත්, මෙම සාකච්ඡා සඳහා සම්බන්ධ වන ඉරාන නියෝජිතයන් කවුරුන්ද යන්න මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැත. නමුත් තමන් ගනුදෙනු කරන්නේ එරට තීරණාත්මක බලධාරීන් සමඟ බව අවධාරණය කරමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරානයෙන් තමන් වෙත සුවිශේෂී “තෑග්ගක්” ලැබී ඇති බවයි. එය ඉරාන පාර්ශවය සාකච්ඡා කෙරෙහි දක්වන විශ්වසනීයත්වය තහවුරු කිරීමක් ලෙස ඔහු අර්ථ දක්වා ඇත.එම තෑග්ග “තෙල් සහ ගෑස්” ක්ෂේත්‍රයට සම්බන්ධ, අතිශය ඉහළ වටිනාකමකින් යුත් එකක් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ඉඟි කර තිබේ. මෙම නව වර්ධනයත් සමඟ කලාපීය බල අරගලයේ තීරණාත්මක වෙනසක් සිදුවනු ඇති බවට දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කරති.























