අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ඊශ්‍රායලය වෙත ඩොලර් මිලියන 650ක් පමණ වටිනා බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් මෙවැනි ගනුදෙනු සඳහා අවශ්‍ය වන කොංග්‍රස් මණ්ඩල සමාලෝචන ක්‍රියාවලිය පවා මඟහරිමින් මෙම තීරණය ගෙන තිබීමයි. ඊශ්‍රායලයට මෙම අවි ආයුධ ලබාදීමේ හදිසි අවශ්‍යතාවක් පවතින බවට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ තීරණය කිරීමත් සමඟ, අදාළ නීතිමය බාධාවන් ඉවත් කර මෙම වෙළඳාමට මඟ පාදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම ක්‍රියාවලිය අමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තියට සහ ජාතික ආරක්ෂාවට සෘජුවම දායක වන්නක් බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත. ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි ‘රෙප්කොන්’ (Repcon) සමාගම මෙම ගනුදෙනුවේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන බව වාර්තා වේ. කලාපීය ආරක්ෂාව සහ සිය මිත්‍ර රටවල යුදමය ශක්තිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම පියවර ගත් බව රජයේ පාර්ශවයෙන් ප්‍රකාශ වී ඇත.මීට අමතරව, රජයන් අතර සිදුවන මෙම ගනුදෙනුවට පරිබාහිරව, ඊශ්‍රායලය විසින් තවත් ඩොලර් මිලියන 298ක් වටිනා අමතර අවි ආයුධ තොගයක් සෘජු වාණිජ ගනුදෙනු මාර්ගයෙන් මිලදී ගැනීමට සූදානම් වන බව ද හෙළි වී තිබේ. ඒ අනුව ඉදිරි කාලසීමාව තුළ අමෙරිකානු අවි නිෂ්පාදන සමාගම් සහ ඊශ්‍රායලය අතර ඇති සබඳතාව තවදුරටත් දැඩි වෙමින් පවතින බව දේශපාලන විචාරකයෝ පවසති.


























