ගාසා තීරයේ ඊශ්‍රායලය සිදු කරන හමුදා මෙහෙයුම් හේතුවෙන්, ජකර්තා නුවර පැවැත්වෙන ලෝක කලාත්මක ජිම්නාස්ටික් ශූරතාවලිය සඳහා ඊශ්‍රායල කණ්ඩායමට වීසා ලබා නොදීමට ඉන්දුනීසියාව තීරණය කළ බව වාර්තා වේ. ඊශ්‍රායල ජිම්නාස්ටික් සම්මේලනය (IGF) මෙම තීරණය “භයානක පූර්වාදර්ශයක්” ලෙස හඳුන්වමින්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට (IOC) හෝ ජාත්‍යන්තර ජිම්නාස්ටික් සම්මේලනයට (FIG) මේ සඳහා විසඳුමක් සෙවීමට නොහැකි වීම විවේචනය කළේය.මෙයට ප්‍රතිචාර වශයෙන්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) විධායක මණ්ඩලය මේ සතියේ රැස්වී තීරණය කළේ, “අනාගත ඔලිම්පික්, යොවුන් ඔලිම්පික්, ඔලිම්පික් ඉසව් හෝ සම්මන්ත්‍රණ සත්කාරකත්වය දැරීම සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව සමඟ තිබූ සියලු ආකාරයේ සංවාදයන් අවසන් කිරීමටයි.” මෙම තහනම ඉන්දුනීසියානු පාලක මණ්ඩලයට “ජාතිකත්වය නොසලකා සියලුම සහභාගිවන්නන්ට රටට ඇතුළු වීමට ඉඩ දෙන බවට ප්‍රමාණවත් සහතිකයක්” ලබා දෙන තෙක් පවතිනු ඇතැයි IOC සඳහන් කළේය.මීට අමතරව, IOC ය “කිසිදු ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වක් හෝ රැස්වීමක් ඉන්දුනීසියාවේ නොපවත්වන ලෙස සියලුම ජාත්‍යන්තර සම්මේලනවලට නිර්දේශ කරනු ඇත.” ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින ඉන්දුනීසියාවට ඊශ්‍රායලය සමඟ නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති වුවද, තම නියෝජිත පිරිස ශූරතාවලියට පිළිගනු ඇතැයි සහතික ලබා දී තිබූ බව IGF පවසයි.මෙම තත්ත්වය හේතුවෙන් තරග කිරීමට නොහැකි වූ ක්‍රීඩකයන් අතර වත්මන් ලෝක ෆ්ලෝර් ශූරයා වන ආටෙම් ඩොල්ගොප්යාට් (Artem Dolgopyat) ද වෙයි. 28 හැවිරිදි ඔහු ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම ද, පසුගිය වසරේ පැරිස්හිදී රිදී පදක්කම ද දිනාගත් ක්‍රීඩකයෙකි. ඔහු දෙවරක් යුරෝපීය ශූරයෙකු ද වේ.ඊශ්‍රායල සහභාගීත්වය සහතික කිරීමට, හෝ ඉසව්ව වෙනත් ස්ථානයකට ගෙන යාමට හෝ අවලංගු කිරීමට ඉල්ලමින් CAS (Court of Arbitration for Sport) වෙත IGF විසින් කරන ලද හදිසි අතුරු පියවර ඉල්ලීමක් ද ප්‍රතික්ෂේප විය. IOC ය විසින් ඉන්දුනීසියාවේ ඔලිම්පික් කමිටුවට සහ FIG වෙත “සිදුවූ තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා ලෝසාන්හි පිහිටි IOC මූලස්ථානයට පැමිණෙන ලෙස” ඉල්ලා ඇත. සියලුම ඔලිම්පික් ව්‍යාපාරයේ පාර්ශ්වකරුවන්ට, ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වන සියලුම ක්‍රීඩකයින්ට කිසිදු සීමාවකින් තොරව අදාළ රටට නිදහසේ ඇතුළුවීමේ ඇති වැදගත්කම පිළිබඳව නැවත සිහිපත් කිරීමට ද මෙම රැස්වීම අවස්ථාවක් කරගත් බව IOC විධායක මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.






















