ඊසානදිග මෝසම් කාලගුණය දිවයිනෙන් ඉවත්ව යාමත් සමඟ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළේය. ඉදිරි දිනවලදී මෙලෙස වැසි සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුවේ දේශගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. ඒ අනුව, දකුණු පළාතේ මෙන්ම රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව නිල කාලගුණ වාර්තාවේ දැක්වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් තැන් තැන්වල පවතින පැහැදිලි කාලගුණයක් අපේක්ෂා කෙරේ. හෙට දිනයේදී කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ වැසි ඇති විය හැකි අතර, උදෑසන කාලයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.මලිත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මාර්තු මස පළමු සතිය අවසන් වන විට මෙරට අන්තර් මෝසම් කාලගුණික අවධියට පිවිසෙනු ඇති බවයි. ගතවූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 47 ක් තණමල්විල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර වැල්ලවාය (32mm), දෙණියාය (29mm), කුරුණෑගල (34mm), රත්මලාන (32.1mm), රත්නපුර (34.8mm), අනුරාධපුර (32.1mm), වව්නියාව (32.5mm) සහ මුලතිව් (30.5mm) යන ප්‍රදේශවලින්ද සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී ඇත. කෙසේ වෙතත්, ජල පෝෂක ප්‍රදේශ තවමත් වියළි ස්වභාවයක් ගන්නා බව වාර්තා වේ.


























