ඊසාන දිග මෝසම සක්‍රීයයි: මහවැලි ගඟට ගංවතුර අනතුරු ඇඟවීම්

දිවයින පුරා දැනට පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසා සිටියේ මේ වන විට දිවයින පුරා ඊසාන දිග මෝසම් කාලගුණය සක්‍රීයව පවතින බවයි. මේ හේතුවෙන් සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වැසි ප්‍රමාණයක් දිවයිනේ ප්‍රදේශ රැසකට ලැබෙමින් පවතින අතර, විශේෂයෙන්ම මධ්‍යම පළාතේ ප්‍රදේශ රැසකට පසුගිය දිනවල අධික වර්ෂාපතනයක් වාර්තා වී ඇත.​නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී වායුගෝලීය කැලඹීම් හේතුවෙන් සුළි සුළං තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින බව කලින් පුරෝකථනය කර තිබූ අතර, එවැනි තත්ත්වයක් වර්ධනය වුවහොත් ජනතාව කඩිනමින් දැනුවත් කිරීමට කටයුතු කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය. පවතින මෝසම් කාලගුණය හේතුවෙන් ඇතිවිය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට සහ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පූර්ණ සූදානමකින් පසුවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.​පසුගිය පැය 24ක කාලය තුළ මහනුවර ප්‍රදේශයට මිලිමීටර් 300 ඉක්මවූ අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර, ඒ ආශ්‍රිතව සුළු පරිමාණයේ නායයෑම් කිහිපයක් ද වාර්තා වී ඇත. මේ හේතුවෙන් කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් පූර්ව ලක්ෂණ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, අවදානම් තත්ත්වයක් පවතින්නේ නම් වහාම එම ස්ථානවලින් ඉවත් වන ලෙසත් උපදෙස් ලබා දී ඇත.​මීට අමතරව, මහවැලි ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් ගඟ පිටාර ගැලීමේ අවදානමක් මතුව ඇති බැවින් මහවැලි ගං ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ගඟ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු අතර, අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් සහන සේවා කටයුතුවලට ද යම් බාධා පැමිණ ඇති බව වාර්තා වේ.​සංඛ්‍යාලේඛන වාර්තා කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ “දිට්වා” සුළි කුණාටු ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 643 දෙනෙකු මියගොස් ඇති බවත්, පුද්ගලයින් 183 දෙනෙකු අතුරුදහන් වී ඇති බවත්ය. මෙය ආපදා මධ්‍යස්ථානය මගින් නිකුත් කරන ලද නවතම යාවත්කාලීන තොරතුරු වේ.

What's your reaction?

Related Posts

1 of 933

Leave A Reply

Your email address will not be published. Required fields are marked *