හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, රජයේ මීළඟ ඉලක්කය වී ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (පෙබරවාරි 27) ප්‍රකාශ කළේය. “සලේ අත්අඩංගුවට ගැනීම පාවිච්චි කරලා ඔවුන්ගේ ඊළඟ ඉලක්කය ගෝඨාභය රාජපක්ෂව අල්ලන එකයි. මේවා පට්ටපල් බොරු. සහරාන් හෂීම් වැනි අයෙක් තමන්ගේ ජීවිතය පූජා කරන්නේ දැඩි සිංහල බෞද්ධයෙකු ලෙස හැඳින්වෙන ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කරන්නද? මේ මොන විකාරයක්ද?” යනුවෙන් ඒ මහතා ප්‍රශ්න කර සිටියේය.කොළඹ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී වීරවංශ මහතා වැඩිදුරටත් චෝදනා කළේ, 2019 පාස්කු ප්‍රහාරයේ සැබෑ වැරදිකරුවන් ආරක්ෂා කරමින් දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා රජය මෙම පියවර ගනිමින් සිටින බවයි. බුද්ධි නිලධාරීන් සහරාන්ලා පමණක් නොව ප්‍රභාකරන්ලා සමඟ පවා සබඳතා පවත්වන බවත්, අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලැබුණු වහාම සහරාන් පිළිබඳව නිරීක්ෂණය කිරීම ආරම්භ කළේ ද බුද්ධි අංශ බවත් ඔහු සිහිපත් කළේය. වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ බරපතළ පාවාදීමක් බව ද හිටපු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.


























