උඩරට දුම්රිය මාර්ගයේ අනාගතය දැඩි අවදානමකට ලක්ව ඇති බව පවසමින්, ඇණහිට ඇති පාලම් ප්‍රතිසංස්කරණ කටයුතු සහ විධිමත් ප්‍රතිසංස්කරණ සැලසුම් නොමැතිකම පිළිබඳව දුම්රිය ස්ථානාධිපති සංගමය බරපතල චෝදනා එල්ල කරයි. පේරාදෙණිය දුම්රිය පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට නතර වී ඇති බවත්, රඹුක්කන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට මෙතෙක් නිසි සැලසුමක් නොමැති බවත් එම සංගමය පෙන්වා දෙයි. සුළි කුණාටුවෙන් හානි වූ පේරාදෙණිය පාලම වෙනුවට නව ද්විත්ව පාලමක් ඉදිකිරීමට රජය මුලින් යෝජනා කළද, පසුව පැරණි පාලමම අලුත්වැඩියා කිරීමට තීරණය කර ඇති බවත්, 2026 අප්‍රේල් වන විට මහනුවර දක්වා දුම්රිය ධාවනය කරන බවට රජය ප්‍රකාශ කර ඇති බවත් ඔවුන් සඳහන් කරයි. කෙසේ වෙතත්, මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය (CECB) මැදිහත්ව සිදුකළ එම වැඩකටයුතු අවශ්‍ය පරීක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල නොවන බව දුම්රිය ඉංජිනේරු තාක්ෂණික කමිටුව ප්‍රකාශ කිරීම නිසා දැනට වැඩ නතර වී ඇති අතර, ඒ පිළිබඳව යළි වාර්තාවක් කැඳවීමට දුම්රිය දෙපාර්තමේන්තුව යෝජනා කර තිබේ.මෙම ගැටලුකාරී තත්ත්වයට වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියාකලාපය සෘජුවම බලපා ඇති බව ස්ථානාධිපති සංගමය සිය නිවේදනයෙන් අවධාරණය කරයි. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙකු දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයට පත් කිරීම මෙම අර්බුදයට මුල බවත්, දෙපාර්තමේන්තුව ලාභ ලබන බව පෙන්වීමේ සරල තර්කය මත පිහිටා ඔහු වියදම් අවම කිරීම සඳහා දුම්රිය ගමන් වාර කප්පාදු කිරීමට කටයුතු කරන බවටත් ඔවුහු චෝදනා කරති. නිලධාරීන්ගේ අදහස්වලට සවන් නොදීම හේතුවෙන් රජය අපකීර්තියට පත්වනවා සේම මගී ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව පෙන්වා දෙන සංගමය, නායයෑම් හේතුවෙන් හානි වූ මාර්ග කොටස් යථා තත්ත්වයට පත් කිරීම මෙයින් ප්‍රධාන වශයෙන් අඩාල වී ඇති බව පවසයි. එබැවින්, දුම්රිය ධාවනය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරුන් ලෙස කටයුතු කළ විශ්‍රාමික දුම්රිය ඉංජිනේරුවන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලෙස ඔවුහු වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.


























