උණවටුන, පිල්ලගොඩ ප්රදේශයේ ලැගුම්හලක නැවතී සිටි රුසියානු ජාතික සංචාරකයෙකු සතු රුපියල් 620,000ක මුදලක් සොරකම් කිරීමේ චෝදනාව මත 19 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගත් බව උණවටුන සංචාරක පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකාරිය අදාළ ලැගුම්හලේ හිමිකරුගේ දියණිය බව අනාවරණය වී ඇති අතර, සංචාරකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී පැය කිහිපයක් ඇතුළත ඇයව කොටුකර ගැනීමට පොලිසිය සමත්ව තිබේ. විශේෂත්වය වන්නේ, සංචාරකයා විසින් සිය කාමරය තුළ සවිකර තිබූ රහස් කැමරාවක දර්ශන මගින් සැකකාරිය අවසරයකින් තොරව කාමරයට ඇතුළු වන අයුරු සනාථ වීමයි. මීට පෙරද මෙම ස්ථානයේ මෙවැනි සොරකම් සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්රියාත්මක වන අතර, සැකකාරිය අද (පෙබරවාරි 24) ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


























