උතුරේ බෞද්ධ උරුමය ලොවට හෙළි කරයි: මහාචාර්ය චන්න ජයසුමනගේ නවතම ගවේෂණාත්මක කෘතිය එළිදකියි

​ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සැඟවී ඇති ඓතිහාසික බෞද්ධ උරුමය පිළිබඳව සිදුකළ දීර්ඝ ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස භිෂග්වේදය පිළිබඳ මහාචාර්ය චන්න ජයසුමන මහතා සම්පාදනය කළ “ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය” ග්‍රන්ථය පසුගියදා (මාර්තු 04) උත්කර්ෂවත් අන්දමින් එළිදැක්විණි. කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැති මෙම උත්සවයේදී කෘතියේ ප්‍රථම පිටපත මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන ලදී. උතුරු පළාතෙන් හමුවූ බෞද්ධ පුරාවස්තු සහ පුදබිම්වලට අදාළ දුර්ලභ වර්ණ ඡායාරූප 700කට ආසන්න ප්‍රමාණයක් මෙම ග්‍රන්ථයට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.​මෙම අභිමානවත් උත්සව සභාවේ මුලසුන හොබවනු ලැබුවේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම සභාවේ අනුනායක, අග්ගමහාපණ්ඩිත මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමිපාණන් වහන්සේ විසිනි. එහිදී ප්‍රධාන දේශනය හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා විසින් සිදුකළ අතර, උතුරේ බෞද්ධ උරුමය සුරක්ෂිත කිරීමේ වැදගත්කම සහ මෙම කෘතියේ ඇති ඓතිහාසික වටිනාකම පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කෙරිණි.​උත්සවය අමතමින් අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක මහාචාර්ය කන්දේගොඩ විමලධර්ම හිමි, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ආචාර්ය වලේබොඩ ගුණසිරි හිමි සහ මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේලා අනුශාසනා පැවැත්වූහ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු කෙරෙන මෙවැනි ගවේෂණාත්මක කෘතියක් ජාතියට දායාද කිරීම පිළිබඳව උන්වහන්සේලා මහාචාර්යවරයාට සිය ප්‍රසාදය පළ කළහ.​මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍යවරුන්, මහජන නියෝජිතයන් සහ විද්වතුන් විශාල පිරිසක් එක්ව සිටියහ. උත්සවයේ අවසාන දේශනය සිදුකරමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, උතුරු පළාතේ විසිරී ඇති අමිල බෞද්ධ උරුමයන් මතු පරපුර උදෙසා ලේඛනගත කිරීම මෙම කෘතියේ මූලික අරමුණ වූ බවයි.

What's your reaction?

Related Posts

1 of 1,065

Leave A Reply

Your email address will not be published. Required fields are marked *