උද්ධමනය පාලනය කරමින් ආර්ථිකය දිරිමත් කිරීමට පියවර

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (ජනවාරි 27) පැවැති රැස්වීමේදී ප්‍රතිපත්තිමය පොලී අනුපාතය (OPR) 7.75% මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. දේශීය ආර්ථික වර්ධනය සහ ගෝලීය අවිනිශ්චිතතාවන් සැලකිල්ලට ගනිමින් ගනු ලැබූ මෙම තීරණය මගින් උද්ධමනය 5%ක ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීමට අපේක්ෂා කෙරේ. 2025 දෙසැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) අනුව උද්ධමනය 2.1%ක් ලෙස නොවෙනස්ව පැවතුණද, ‘දිට්වා’සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ සැපයුම් අඩාල වීම් සහ උත්සව සමයේ ඉහළ ඉල්ලුම නිසා ආහාර මිල ගණන් තරමක් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, 2026 දෙවන භාගය වන විට උද්ධමනය ක්‍රමයෙන් 5% දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ආර්ථිකයේ ඉල්ලුම ශක්තිමත් වීමත් සමඟ මූලික උද්ධමනය (Core Inflation) ද ඉදිරියේදී ඉහළ යා හැකි බව මණ්ඩලයේ නිරීක්ෂණයයි.​ආර්ථික වර්ධනය අතින් බලන කල, 2025 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.0%ක වර්ධනයක් වාර්තා කර ඇත. සුළි කුණාටුව හේතුවෙන් වසර අගභාගයේදී ආර්ථික කටයුතු මන්දගාමී වුවද, නැවත ගොඩනැගීමේ කටයුතු සහ වාහන ආනයනය ඉහළ යාම හේතුවෙන් පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ. විදේශීය අංශය ද යහපත් මට්ටමක පවතින අතර, 2025 වසර අවසානය වන විට මෙරට නිල විදේශ අනුපාතික සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.8ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වී ඇත. මෙය ප්‍රධාන වශයෙන් විදේශ ප්‍රේෂණ සහ බහුපාර්ශ්වීය ආයතනවලින් ලැබුණු මූල්‍ය පහසුකම් මත පදනම් වූවකි. 2025 වසරේදී රුපියල ඩොලරයට සාපේක්ෂව 5.6%කින් අවප්‍රමාණය වුවද, මේ වන විට එය ස්ථාවර මට්ටමක පවතී. ඉදිරි ආර්ථික තත්ත්වයන් මත පදනම්ව අවශ්‍ය ඕනෑම අවස්ථාවක ප්‍රතිපත්තිමය පියවර ගැනීමට මණ්ඩලය සූදානම්ව සිටින අතර, ඊළඟ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය 2026 මාර්තු 25 දින නිකුත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,039

Leave A Reply

Your email address will not be published. Required fields are marked *