එළඹෙන නත්තල් සහ නව වසර උදාවන උත්සව සමයේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත. වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කොට්ඨාස භාර නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත මේ පිළිබඳව උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව, සාප්පු සවාරි සහ උත්සව කටයුතු සඳහා ජනතාව විශාල වශයෙන් ඒකරාශී වන නගර කේන්ද්‍ර කරගනිමින් කිසිදු බාධාවකින් තොරව තම කටයුතු කරගෙන යාමට හැකිවන පරිදි මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.විශේෂයෙන්ම නත්තල් දේව මෙහෙයන් පැවැත්වෙන කතෝලික පල්ලි සහ ආගමික මධ්‍යස්ථාන සඳහා අදාළ ආගමික නායකයින් සහ පාලක මණ්ඩල සමඟ සාකච්ඡා කර සම්බන්ධීකරණ ආරක්ෂාවක් සැපයීමට නියමිතය. මීට අමතරව, ප්‍රධාන රාජ්‍ය ආයතන, සාප්පු සංකීර්ණ සහ සෙනඟ ගැවසෙන පොදු ස්ථානවල ආරක්ෂාව තර කර ඇති අතර, තොරතුරු රැස් කිරීම සහ අපරාධ වැළැක්වීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ද නගර ආශ්‍රිතව අනුයුක්ත කර ඇත. හෝටල් සහ විනෝදාස්වාද ස්ථාන කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කරමින් මෙම ආරක්ෂක පියවර ක්‍රියාත්මක වේ. යම් හෙයකින් සැකකටයුතු ක්‍රියාවක් හෝ තොරතුරක් නිරීක්ෂණය වුවහොත් වහාම අසල සිටින පොලිස් නිලධාරියෙකුට හෝ පොලිස් මුර සංචාරක ඒකකයකට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මෙම සියලු පියවර ජාතික වගකීමක් ලෙස සලකා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරයි.


























