වසරේ අවසාන පුර පසළොස්වක පොහොය දිනය වන උඳුවප් පුරපසළොස්වක පොහොය අද (දෙසැම්බර් 4) දිනට යෙදී ඇත. ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථාන කිහිපයක් සනිටුහන් කරමින් මෙම පොහොය දිනය විශේෂත්වයක් ගනී.ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මෙහෙණින් වහන්සේ දඹකොළ පටුනට වැඩම කරවූයේ ද අද වැනි උඳුවප් පොහොය දිනයකදීය. එදින සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂුණීන් වහන්සේලා 11 නමක් ලංකාවට පැමිණීම මෙරට බුද්ධ ශාසනයේ වැදගත් සන්ධිස්ථානයක් විය.සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩමවීමත් සමඟම මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ද උඳුවප් පොහොය දිනයේදී සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. මේ නිමිත්තෙන් අද දිනයේ දිවයින පුරා ආගමික වතාවත් හා පිංකම් රැසක් පැවැත්වීමට නියමිතය.


























