රාජ්‍ය සේවක වැටුප වැඩි කරන උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරන බවට ලබන සිකුරාදාට පෙර ප්‍රකාශ නොකළොත් ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට සහාය දෙන්නේ කුමටදැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළුතර දී ඊයේ (5)ප්‍රශ්න කළේය.
උපයන විට ගෙවන බද්ද අය කරන සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ දැමීමට ආණ්ඩුව දුන් පොරොන්දුව ද අමතක නැතැයි කී රනිල් වික්‍රමසිංහ මහතා එක තැනක බදු අඩු කරන විට තව තැනක බදු පනවන්නට සිදුවන බව මොවුන් ජනතාවට ප්‍රකාශ නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය.
ලංකාවට ගෙවීමට ඇති විදේශ ණයෙන් සියයට විස්සක් තම රජය විසින් අඩු කර තිබෙන අතර අනුරගේ ආණ්ඩුවේ වැඩ නිසා එම සහනය රටට අහිමි වීමේ අවදානමක් පවතින බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ගෑස් සිලින්ඩරය යටතේ තරඟ වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කළුතර පැවති ජන හමුවට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා:-
ගෙදර ගිහින් විශ්‍රාම සුවයෙන් ගමේ කඩපිලේ කයිය ගහමින් ඉන්නැයි මාලිමාවේ අපේක්ෂක නලින්ද ජයතිස්ස පවසා තිබුණා. ඇත්තෙන්ම 2021 වසරේ මම කලේ ඕක තමයි.නමුත් මේ රටේ ආර්ථික අර්බුදය ඇති වුණාම එතුමාගේ නායකතුමාවත් විපක්ෂ නායකවත් කිසිම වගකීමක් බාර නොගත් නිසා කයිය ගහන එක නවත්වා මට ආපහු එන්න සිදුවුණා.
බොහෝ අය දැන් මේ රටේ ආර්ථිකය ගැන කතා කරන්නේ නැහැ.අනුර දිසානායක ජනාධිපතිතුමා කිසි වෙලාවක ආර්ථිකය ගැන කතා කරන්නේ නැහැ.මම මේ රටේ ණය තිරසර බවක් ඇති කොට ස්ථාවර බවක් ඇති ඇති කළා.එය තවදුරටත් ස්ථාවර මට්ටමකට ගෙන ආ යුතුයි .එය කරන්නේ කෙසේද?ඒ කිසිම දෙයක් ගැන කතා කරන්නේ නැහැ.
දැන් පාර්ලිමේන්තුව හොර ගුහාවක් බව කියනවා.පාර්ලිමේන්තුවේ දී කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා ගැන කියනවා. ඕක කළේ කවුද?
පළමුවෙන්ම මා ජනාධිපති වූ පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබූ ප්‍රශ්න ගැන පරීක්ෂා කරන්නැයි පොලිසියට පවසා තිබුණා.ඒ වැඩ කටයුතු සඳහා මා සම්පූර්ණයෙන්ම අනුමැතිය දුන්නා.මේ ගැන පියවර ගැනීම අවශ්‍ය බව කාවින්ද මන්ත්‍රීතුමා පසුව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආවා.ඊට පසුව එතුමා ගිහින් මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මා.අනුර දිසානායක මැතිතුමාට ,ජනතා විමුක්ති පෙරමුණට ඔච්චර උනන්දුවක් තිබුනා නම් එවෙලේ මැදිහත් වෙන්න තිබුණා.ඒක කළේ නැහැ.
චෝදනා තිබූ එක දෙයකට වත් අප අත තැබුවේ නැහැ.දූෂණ විරෝධී පනත යටතේ හොරු අල්ලන බව දැන් ජනපති කියනවා.දූෂණ විරෝධී පනත සම්මත කළේ කවුද?ඔය හොර ගුහාව කියන පාර්ලිමේන්තුවම නේද?2024 දී ඒක සම්මත කළා.හොරු ඉන්නවා නම් ඒ නීතිය සම්මත කරනවාද?ඉන් පසුව අපරාධ වලින් උපයා ගත් දේපොළ යළි පවරා ගැනීමේ නීතියත් ගෙන ආවා.හොර ගුහාව සුද්ද කරන නීති කෙනා ආවේ මේ පාර්ලිමේන්තුවයි.පළමු වතාවට දූෂණයට විරුද්ධව ක්‍රියා කළේ මේ පාර්ලිමේන්තුවයි.එය පාර්ලිමේන්තුවේදී සම්මත කළේ මේ මන්ත්‍රීවරුන් විසිනුයි.
අනුර කළේ කුමක්ද? කාවින්ද ජයවර්ධන වගේ යෝජනා ගෙන ආවේ නෑ. නඩු කියන්න ගියේ නෑ.අපි වාගේ නීති ගෙනාවේ නෑ.
අනික සියයට හතළිස් දෙකක් ලැබූ කෙනා පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන්නේ කොහොමද?පාර්ලිමේන්තුව හොර ගුහාවක් නොවේ යැයි සියයට පනස් අටක් කියා තිබෙනවා.පාර්ලිමේන්තුවේ නීති සම්මත කළ බව රටේ බහුතරයක් දෙනා දන්නවා.සුළුතරය බහුතරය වෙන්නේ කොහොමද කියලා මට කියන්න.
මේ ප්‍රශ්නය තවදුරට යනවා නම් අප දූෂණ විරෝධී න්‍යාය පත්‍රය ඉදිරිපත් කර තිබෙනවා.ඒ නීති සම්මත කරගැනීමට නම් අපේ කණ්ඩායම පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.
පලපුරුදු අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.අලුත් අය වගේම පලපුරුදු අය සිටිය යුතුයි.මාලිමාවේ ඉන්න අපේක්ෂකයන් කවුද? ඔවුන් ආසනය හොයා ගන්නෙත් ජී.පී.එස්. තාක්ෂණය යොදා ගෙනයි.මේ අපේක්ෂකයන් හරියට අවුරුදු කාලයේ සැඟවුණු අමුත්ත වගේ.
ගම්පහ මාලිමාවේ අපේක්ෂකයෙක් ගිහින් ප්‍රචාරක කොළය දුන් විට ඔයා මොන අපේක්ෂකයා වෙනුවෙන් ආවාද කියා අසා තිබෙනවා.අපේක්ෂක මම තමයි කියා එවිට ඔහු පවසා තිබුණා.ජනතාව අපේක්ෂකයා කවුදැයි දැනුම්වත්ව සිටිය යුතුයි.
ඇත්තෙන්ම අගමැතිකම දීමට පෙර පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවාදැයි සෙවිය යුතුයි.දැන් ඒක කරලා තිබෙනවාද? අදාල සිද්ධිය සම්බන්ධයෙන් හරිනිට විරුද්ධව නඩු පැවරීම මම මැදිහත් වී නතර කළා. නැතිනම් ඒත් තව ප්‍රශ්නයක් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(3)වන උප වගන්තිය කියවා බලන්න.දින පනස් අට කුමන්ත්‍රණය සමයේ නඩු තීන්දුවක් ද ඒ සම්බන්ධයෙන් තිබෙනවා.
නිලධාරීන්ගේ අනුමැතියක් නැතිව රාජ්‍ය සේවක පඩි වැඩි කරන්නට තීරණය කර ඇතැයි විජිත හේරත් ඇමතිවරයා චෝදනාවක් කළා.මෙය මැතිවරණ සමයේ ජනතාව නොමඟ යවන්නට දුන් බොරු පොරොන්දුවක් බවත් ඔහු පැවසුවා.
ඉන්පසුව මා කැබිනට් මණ්ඩලය ගත් තීරණය පෙන්නුවා.ඊට නිලධාරීන් ද අත්සන් කර තිබෙනවා.අයවැය අධ්‍යක්ෂ ජනරාල් අත්සන් කළා. තව කවුද ඕන.
අදාල වැටුප් වැඩිවීම ලබාදීම සඳහා මුදල් හොයන ආකාරයත් මා පෙන්වා දුන්නා.අපේ එන අවුරුද්දේ වාහන ආනයනය කරන විට තීරු බදු තිබෙනවා.ආර්ථිකය දියුණු උනාම වැඩියෙන් බදු එකතු කරනවා.මේ ක්‍රමය ක්‍රියාත්මක කරනවා යැයි තාම කියන්නේ නැහැ.රජයේ සේවකයන් ජීවත්වන්නේ කොතරම් අමාරුවෙන්ද?
රජයේ සේවක වැටුප් වැඩි කරන උදය සෙනවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරන බවට ලබන සිකුරාදා වන විට ප්‍රකාශ නොකළොත් එම පක්ෂයට සහාය දෙන්නේ මොකටද?
රජයේ සේවකයන්ගේ ඡන්දයෙන් බලයට පැමිණි මාලිමාවට අදාල වැටුප් වැඩි වීම ලබාදෙන්න යුතුකමක් තිබෙනවා.
ඔක්තෝබර් 28 වෙනිදා රූපවාහිනී ආයතනයකට පැමිණ නලින්ද ජයතිස්ස පැවසූයේ ඒ වෙලාවේ දේශපාලන වශයෙන් උඩට එන්න හැකියාව තිබෙන්නේ මූල්‍ය අරමුදලට විරුද්ධව කතා කිරීමෙන් බවයි.ඒක නිසා අයිඑම්එෆ් එකට විරුද්ධව කතා කළ බව ඔහු කියනවා. ඉතින් දැන් අයිඑම්එෆ් එක්ක වැඩ කරන්නේ කොහොමද කියා කියන්න.ඒක අප දැනගත යුතුයි. මෙතන සෙල්ලම් කරන්න ගියොත් රටේ ආර්ථිකයට මෙන්ම සියලු දෙනාටම පහර වදිනවා.
මූල්‍ය අරමුදල සමග සාකච්ඡා අප විසින් අරඹා ණය තිරසර බව පිළිබඳ එකඟත්වයකට පැමිණියා.ණය ගත් රටවල් 18ක් සමග එකඟතාවයට එළඹුණා.ඉන්පසුව පෞද්ගලික බැඳුම්කරුවන් සමග සාකච්ඡා කළා.ඒ දෙකම අප කැබිනට් මණ්ඩලයේදී අනුමත කළා.සැප්තැම්බර් 21 වැනිදායින් පසු පෞද්ගලික ණයකරුවන් අපේ යෝජනාවට එකඟ බව දැනුම් දුන්නා.
එය ක්‍රියාත්මක කරන බවත් මේ ආණ්ඩුව සැප්තැම්බර් හතර වැනිදා පැවසුවා. එදා අයි.එම්.එෆ් එකෙන් සාකච්ඡා කරන්න පැමිණියා.ලංකාව පිළිබඳව භාරව සිටින ජේෂ්ඨතම නිලධාරියා එහිදී ප්‍රකාශ කර තිබෙන්නේ අපි ඇරඹූ ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව සූදානම් බවයි.
ඊට පසුව වොෂින්ටන් නගරයට ගියා. අපත් යෝජනා කර තිබුණේ ඡන්දෙන් පසුව මෙහි පැමිණ සාකච්ඡා කළ යුතු බවයි.
නමුත් මොවුන් වොෂින්ටන් නුවර ගිහින් මේ සාකච්ඡා අවසන් කළේ නැහැ.තව වතාවක් කොළඹට එනවලු.අඩු ගණනේ සිදුවන දේවත් අපට කිව යුතුයි. අනුර දිසානායක ජනපතිගෙන් මා ඇසුවේ එයයි.ඊට පිළිතුරු නොදී ඔහු පාර්ලිමේන්තුව හොර ගුහාවක් සුද්ද කරන්න ඕනෑ කියමින් කෑ ගහනවා.මම කුඩ දාසයක් ගත්ත බවත් කෝටි හතළිහක කජු කෑව බවත් පවසනවා.එළවලු කාපු බවත් කියනවා.නමුත් මා ඇසූ ප්‍රශ්නයට උත්තර දෙන්නේ නැහැ.
මෙය ක්‍රියාත්මක වෙනවාද? නැද්ද? කියන උත්තරේ අපට දෙන්න.මෙතන තිබෙන්නේ ආණ්ඩුවට විරුද්ධව එක බැංකුවක්.එය බටහිර ඉන්දීය කොදෙව්හි තිබෙන හැමිල්ටන් බැංකුව අපි ණය ගෙවන්නේ නැතැයි කියමින් නඩු පැවරුවා.අප අනෙක් රටවල් සමඟ සාකච්ඡා කරන නිසා කල් ලබාදෙන්නැයි මා පෙන්වා දුන්නා.කල් ලබාදීමට ඔවුන් එකඟ වුණා.
අනුර කුමාර දිසානායක නව ජනාධිපති අයි.එම්.එෆ් ගිවිසුමට විරුද්ධව කතා කර ඇති බවත් ඒ නිසා නඩුව විමසන ලෙසත් ආණ්ඩුව මාරුවූ පසු ඔවුන් පැවසුවා.ඉන් පසුව මේ අය ක්‍ලිෆට් චාන්ස් නීතිඥ සමාගම මගින් ගිවිසුම ඒ විදිහටම ක්‍රියාත්මක කරන බවට දැනුම් දුන්නා.මෙතන ගිහින් ප්‍රතිව්‍යුහගත කරන බව කියනවා නම් ඒ අය නඩුව ඉදිරියට ගෙනයාවි.එවිට ඒ අයට ඩොලර් මිලියන 300ක් ගෙවන්න අපට සිදුවෙනවා.මේක පොඩි ගානක් බව සමහරු කියනවා.නමුත් ඒක දින්නාට පසු අනෙක් අයත් ඒ වගේම ඇවිත් මුදල් ඉල්ලාවි.එවිට ඩොලර් බිලියන දෙක තුනක් අපට නැති වෙන්න පුළුවන්.
එහෙම දෙයක් කරන්න යනවද? මේ ගිවිසුමේ වාසිය මොකක්ද?අපේ සම්පූර්ණ ණය ඩොලර් බිලියන 84යි.එයින් සියයට පනහක් විදේශීය ණය වන අතර සියයට පනහක් දේශීය ණය වෙනවා.ඒ කියන්නේ ඩොලර් බිලියන 42 ක් විදේශ ණය ගෙවන්න තිබෙනවා.
මම කතා කළ විට අපට ණය දුන් රටවල පොලිය අඩු කරන බවට එකඟ වුණා.සමහර ණය පොලිය අහෝසි කරන්නටත් එකඟ වුණා. අවම වශයෙන් අපට එයින් ඩොලර් බිලියන පහක් ඉතිරි කරගන්න පුළුවන්.ඩොලර් බිලියන තුනක ණය කපා හරින බව බැඳුම්කර හිමියන් පැවසුවා.ඒ කියන්නේ අපට ගෙවන්නට තිබෙන ඩොලර් බිලියන 42 ක ණය මුදලින් සියයට විස්සක් අප අඩු කරගෙන තිබෙනවා.ඒ සහනය ජනතාවට ලැබෙනවා.
දැන් මේ ආණ්ඩුව කරන දෙයින් මේ සියලු සහන නැති වෙන්න පුළුවන්.එපමණක් නොව හැමිල්ටන් බැංකුව නඩුව දිනුවොත් ගොඩක් ණය මුදල් ගෙවන්නට සිදුවේවි.ඒ නිසා නොදන්න දේවල් කරන්න යන්න එපා.පාර්ලිමේන්තුවේ මේවා ගැන දන්න පළපුරුදු මිනිස්සු කියන්න.
මුදල් පාලනය කරන්නේ පාර්ලිමේන්තුවයි.අපේ ණය තවත් අඩු කරගන්න අපට පුළුවන්.නමුත් මේ විදියට කරන්න බෑ .
මේ අය පොරොන්දු ගණනාවක් ලබාදී තිබෙනවා.අපට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක ආදායමක් ලබාගන්නට තිබෙනවා.දැන් මොවුන් කියන්නේ මොකක්ද? කොහෙන් හරි බදු අඩු කළොත් අලුත් බදු පනවා තව තැනකින් බදු පනවා ඒ ආදායම තිබිය යුතු බව මූල්‍ය අරමුදල පැවසීයැයි දැන් මේ අය කියනවා.
ඉතින් බදු බර අඩුවන්නේ නැහැ.එක තැනකින් බදු අඩු කළොත් තව තැනකින් බද්දක් පනවන්න සිදුවෙනවා.මේ ඇත්ත ජනතාවට කියන්නේ නැත්තේ ඇයි?අප අනෙක් බදු අඩු කර වැට් බද්ද පැනවුවා.
උපයන විට බද්ධ ලක්ෂ දෙකක ආදායම් සීමාව දක්වා ඉහළ දමන බව මේ අය පැවසුවා.ඒක කරන්න බැහැ.අපේ යෝජනාව පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරන්න. පළමුවෙන්ම උදය සෙනෙවිරත්න වාර්තාව අනුව පඩි වැඩිවීම ක්‍රියාත්මක කර රජයේ සේවකයන්ට වැටුප් දෙන්න.දෙවනුව උපයන විට බද්ද නිසා තිබෙන අසහනය අප දන්නවා.එමෙන්ම ආදායම් ලබා ගන්නත් තිබෙනවා.ලක්ෂ දෙකේ සීමාවට උපයන විට බද්ධ අය කිරීමට මූල්‍ය අරමුදල සමග කතා කළ විට අඩුවන ආදායම ලබාගන්නේ කොහෙන්දැයි විමසුවා.ලක්ෂ එකහමාරක සීමාවකට යමු යැයි එවිට අප සඳහන් කළා.මේ වන විට වන වනවිට එක් ලක්ෂ 25000ක සීමාවකට යන්න පුළුවන්.එය ප්‍රමාණවත් නැති බව අප පැවසුවා. ඒ අනුව 2025 දී එක් ලක්ෂ පනස් දහසක සීමාවකට පැමිණීමට උත්සාහ කරමු යැයි අප පැවසුවා.ඒ සඳහා මුදල් තිබෙනවා.
ආදායම් ලැබෙනවා නම් වාහන ආනයනය කොට එයින්ද මුදලක් ලැබෙනවා.මූල්‍ය අරමුදලින් තක්සේරු කර තිබෙන්නේ අපේ ආර්ථිකය 2024 වන විට සියයට තුනක වර්ධනයක් ලබා ලබාගන්නයි.නමුත් මේ වන විට සියයට 4.4ක වර්ධනයක් තිබෙනවා.
2015 වන විට සියයට පහක වර්ධනයක් ලබාගන්නවා නම් තවත් ආදායම් වැඩි කරගන්නට හැකියාව ලැබෙනවා.
අප එය ක්‍රියාත්මක කරන්නට බලමු.පළමු වතාවට සිලින්ඩර කණ්ඩායම පාර්ලිමේන්තුවට යන්නේ වැඩසටහනක් ඇතිවයි.එක පක්ෂයකටවත් එවැනි වැඩසටහනක් නෑ.
පළමුවෙන්ම මේ අය එකඟ විය යුත්තේ උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කිරීමටයි.එතනින් වසරකට රුපියල් බිලියන 150 ක් වැඩිපුර ලැබෙනවා.මේ සියලුම මුදල් රජයේ සේවකයන්ගේ සාක්කුවේ තබන්නේ නැහැනේ.මේ මුදල් ද වෙළඳාමට ඇතුළු වෙනවා.ඒ අනුව වසර තුනකදී බිලියන 300 ක් ලැබෙනවා.
ආර්ථිකය දියුණු වීමත් සමඟ තව වැඩ කටයුතු කරන්න පුළුවන්.මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් සිලින්ඩරයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න,හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහත්වරු ඇතුළු කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයෝ ද මීට සහභාගී වූහ.