එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් පරිවර්තනයෙහි සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් 2026 පෙබරවාරි 4 වන දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විශේෂ සමාරම්භක උත්සවයක් පැවැත්වීමට නියමිතය. මෙහි මූලික පියවරක් ලෙස ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ‘ඩිජිටල් වෝඩන්වරුන්’ (Digital Wardens) 1,000 දෙනෙකු නිල වශයෙන් පත් කිරීමට පක්ෂය තීරණය කර ඇත. තාක්ෂණය ඔස්සේ පක්ෂයේ මෙහෙයුම් විධිමත් කිරීම සහ මහජන සම්බන්ධතාවය ඉහළ නැංවීම සඳහා දියත් කෙරෙන පුළුල් වැඩපිළිවෙළක ආරම්භය ලෙස මෙම පත්වීම් සිදු කෙරේ.මීට අමතරව, පක්ෂ සාමාජිකයින්, සංවිධායකයින් සහ මහජනතාව අතර සන්නිවේදනය වඩාත් පහසු කිරීම සඳහා නිර්මාණය කරන ලද නව ‘UNP App’ ජංගම දුරකථන යෙදුම ද මෙහිදී හඳුන්වා දීමට නියමිතය. තොරතුරු වේගයෙන් බෙදා හැරීමට සහ ජාලගත වීමට මෙය ප්‍රබල මෙවලමක් වනු ඇත. මෙම වැඩසටහනට සමගාමීව, සිරිකොත මූලස්ථානයේ ඩිජිටල් සන්නිවේදන යටිතල පහසුකම් ශක්තිමත් කරමින් ‘Starlink’ අධිවේගී අන්තර්ජාල සේවාව ද නිල වශයෙන් සක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ. ජනතාව කේන්ද්‍ර කරගත්, තාක්ෂණය මත පදනම් වූ දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට තමන් කැපවී සිටින බව මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.


























