එක්සත් රාජධානියේ විශේෂ දූත පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි.

එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ දී සිදුවිය.

මේ අවස්ථාව සදහා එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මියගේ පෞද්ගලික ලේකම් රොබ් කෝර් මහතා, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් ඇලෙක්සැන්ඩර් ස්මිත් මහතා ද එක්විය.

මෙහි දී එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මෙරට ආර්ථික, සමාජීය හා දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණි. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික ගැටලුවෙන් මිදීම සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියේය. එසේම එක්සත් රාජධානියේ සංචාරකයන් වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන කටයුතු සදහා සහයෝගය ලබා දෙන ලෙස ද විපක්ෂ නායකවරයා මෙහි දි වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මේ අවස්ථාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන් සහ කාවින්ද ජයවර්ධන යන මහත්වරු එක්වූහ.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *