එජාප – සජබ එක්සත්කමට මගේ නායකත්වය බාධාවක් නම් ඕනෑම වෙලාවක ඉවත් වීමට සූදානම් – රනිල් වික්‍රමසිංහ

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එකමුතුවක් ඇති කර ගැනීමට තම නායකත්වය බාධාවක් වන්නේ නම්, ඕනෑම අවස්ථාවක පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය බදාදා (17) පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති විධායක සභා රැස්වීමේදී ඒ මහතා මේ බව අවධාරණය කළේය. සජබ සමඟ ඒකාබද්ධ වීමක් සඳහා එකඟතාවයකට පැමිණෙන්නේ නම්, පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තමන්ට කිසිදු විරෝධයක් නොමැති බවද ඔහු මෙහිදී පවසා ඇත.​දෙපාර්ශ්වය අතර සහයෝගීතාවය සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇති අතර, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් තලතා අතුකෝරල සහ ජාතික සංවිධායක සාගල රත්නායක යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සජබ කණ්ඩායම සමඟ පැවැත්වෙන මෙම සාකච්ඡා තවදුරටත් ඇදගෙන නොයා ඉතා ඉක්මනින් අවසන් කළ යුතු බව වික්‍රමසිංහ මහතා විධායක සභාවට පෙන්වා දුන්නේය. ලබන වසරේ සිට රජයට එරෙහිව ශක්තිමත් මහජන බලවේගයක් ගොඩනැගීමට නම් විපක්ෂයේ සියලු දෙනා එක්විය යුතු බවත්, ඒ සඳහා මෙම සාකච්ඡා කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.​එජාපය සහ සජබය ඒකාබද්ධ වීම සඳහා එකඟතාවක් ඇති කර ගන්නේ නම් සහ සජිත් ප්‍රේමදාස මහතාට හෝ වෙනත් අයෙකුට නායකත්වය ලබාදීමට පක්ෂ විධායක සභාව යෝජනා කරන්නේ නම් තමන් ඊට එකඟ වන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. “මම දීර්ඝ කාලයක් පක්ෂ නායකයා ලෙස කටයුතු කළා. මම මේ රටේ ජනාධිපති වුණා. මට යා හැකි ඉහළම තනතුරට මම ගියා. රටේ අමාරුම වෙලාවේ මම වගකීම භාරගෙන රට ගොඩගන්න වැඩ කළා. ඒ නිසා නායකත්වයෙන් ඉවත් වීම මට ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මේ තීන්දුව කඩිනමින් ගත යුතුයි,” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 894

Leave A Reply

Your email address will not be published. Required fields are marked *