ශ්‍රී ලංකාව පුරා පවතින එල්.පී. ගෑස් හිඟය මේ සති අන්තයේ මෙරටට ලැබීමට නියමිත නව ගෑස් නැව් තොග සමඟ ඉදිරි දින කිහිපය තුළ අවසන් වනු ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි. පෙබරවාරි මස සඳහා ඇණවුම් කරන ලද මෙට්‍රික් ටොන් 28,000ක තොගයෙන් එක් නැවක් සෙනසුරාදා (පෙබරවාරි 28) රාත්‍රියේත්, තවත් නැවක් ඉරිදා (මාර්තු 01) උදෑසනත් දිවයිනට ළඟා වීමට නියමිතය. ලාෆ්ස් ගෑස් සැපයුම අඩාල වීම හේතුවෙන් පීඩාවට පත් හෝටල් සහ පාරිභෝගිකයන් සඳහා ලිට්රෝ සමාගම මගින් තාවකාලිකව ගෑස් සැපයීමට පියවර ගෙන ඇති අතර, එළඹෙන මාර්තු මාසය සඳහා මෙට්‍රික් ටොන් 38,000ක අතිරේක තොගයක් ද ඇණවුම් කර ඇත. දෛනික ගෑස් නිකුත් කිරීම මෙට්‍රික් ටොන් 1,700 දක්වා ඉහළ නංවා ඇති අතර, මාර්තු 12 වන විට නව ගෑස් සිලින්ඩර 40,000ක් පමණ බෙදා හැරීමට සැලසුම් කර ඇති බැවින් අනවශ්‍ය ලෙස ගෑස් තොග රැස් නොකරන ලෙස සභාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.මේ අතර, ලාෆ්ස් ගෑස් (LAUGFS Gas) සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සිය මාබිම පර්යන්තයේ මෙහෙයුම් ලබන සෙනසුරාදා (28) සිට යළි ආරම්භ කරන බවයි. සැපයුම් ජාලය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර, ගෘහස්ථ, වාණිජ සහ කාර්මික අංශ සඳහා අඛණ්ඩව ගෑස් බෙදා හැරීමට ප්‍රමුඛතාව ලබා දෙන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සහතික වී ඇත. වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද රජය මැදිහත් වී ගෑස් නිකුත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට පියවර ගෙන ඇති බව මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව, ලබන සතිය වන විට වෙළඳපොළේ පවතින පෝලිම් තත්ත්වය මගහැරී ගෑස් සැපයුම සාමාන්‍ය අතට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


























